දෙඩවිල්ලට දස්ස වැඩක් කරන්න බැරි අයය. සමහරුන් කිසිම වැඩක්පළක් නොකර තමන් වැඩකාරයන් බව පෙන්වන්නට කයිවාරු දොඩවනවාය. වැඩ කරනවාට වැඩිය දෙඩවිල්ලෙන් බොහෝ දේවල් කරගන්නා අය ඉන්නවාය. දෙඩවිල්ල ඕනෑවට වැඩිය දුරදිග ගිය විට එයට කියන්නේ නංදෙඩවිල්ල කියාය. නංදෙඩවිල්ල කියන්නේ ආතක් පාතක් නැතුව ඔහේ දොඩවන එකටය. නංදෙඩවිලිකාරයන් වැඩිපුර කතා කරන්නේ ඕනෑ දේවල්වලට වැඩිය එපා දේවල්ය. මෙහෙම ඕනෑවට වැඩිය දොඩවන කෙනාට %මුඛරියා^ කියලා කියනවාය.
සමහරුන්ගේ දෙඩවිල්ල කොතරම් වැඩිද කිව්වොත් එය අසා සිටින අයට කන්දොස්කිරියාවක් වෙනවාය. රාජ සභාවේදී නිතරම එකදිගට දොඩවන බමුණෙකුගේ කටට මීබෙටි නැලියක් ගිල්ල වූ කතාවක්ද තියෙනවාය.
බොහෝ අය දස්ස තමන්ගේ කෙරුවාව ගැන දොඩවන්නටය. තමන්ගේ තත්ත්වය, වත්පොහොසත්කම් ගැන දෙඩවිල්ලටය. එසේම තමන්ගේ පවුලේ කෙරුවාව ගැන දොඩවනවාය. එසේ දොඩවන්නේද තමන් අනිත් අයට ඉහළින් සිටින්නටය. කතුන් දෙදෙනෙකු හමුවූ විට තම ස්වාමිවරුන්ගේ කෙරුවාව ගැන දෙඩවිල්ල පටන් ගන්නවාය. ඔවුන් එසේ මහත්වරුන් ගැන දොඩවන්නේ තම මහන්තත්තකම පෙන්වන්නටය. ගැහැනු වැඩියෙන් දස්ස ඕපාදූප දෙඩවිල්ලටය. සමහරුන්ට ඕපාදූප දොඩවන්න ගියවිට කන්න බොන්නවත් මතකයක් නැති තරම්ය.
හැබැහින් දොඩවනවාට වඩා සිහිනෙන් දොඩවන අයද ඉන්නවාය. සිහිනෙන් දොඩවනවා විතරක් නොව සිනාසෙන, ඇවිදින අයද ඉන්නවාය. සමහර අය සිහිනෙන් දොඩවන්නේද අවදිවෙලා ඉන්නකොට දොඩවන්න බැරි දේවල්ය. ඒ දෙඩවිල්ලෙන් එහෙම අයගේ හොර එළිවෙනවාය.
සමහරුන් තනියම දොඩවනවාය. පිස්සන් එහෙම දොඩවන බව පිළිගෙන තිබුණද, පිස්සු නැති අයද තනියම දොඩවන බව කියනවාය. සමහරු තනියම දොඩවමින් පාරේ යනවාද දැක තිබෙනවාය. නූගතුන්ට වඩා උගතුන්, බුද්ධිමතුන්, විද්වත් අය තනියෙන් දොඩවනවා වැඩි බව සොයාගෙන තිබෙනවාය. එහෙම තනියම දෙඩවිල්ල වැඩි වූ විට පිස්සුවෙන් දොඩවන්න පටන් ගන්නවාය.
සමහරු නම් දරා තිබෙන්නේ බහුබූත දොඩවන්නටය. එහෙම බහුබූත දොඩවන අයට කිවයුත්ත කුමක්ද, නොකිවයුත්ත කුමක්දැයි වැටහීමක් නැත්තේය. ආදිවාසීන් දොඩවන්නේ වැදි භාෂාවය. ඒ අය කොතැන ගියත් තමන්ගේ මවු භාෂාවෙන් දෙඩවිල්ල උසස්ය කියලා හිතනවාය. ඒත් අපේ සමහර දෙනාට යම්තම් ඉංගිරිසි ටිකක් කටේ ගාගත්තාම සිංහලෙන් දෙඩවිල්ල අමතක වෙනවාය. ඒ අය සුද්දන්ද නොදන්නා සිංගිරිස්වලින් දෙඩවිල්ලට දස්සය.
අසනීප වුණාමද දොඩවනවාය. උණ වැඩි වුණාම දෙඩවිල්ල එවැනි දෙඩවිල්ලක්ය. යක්කුන්ට බයවුණාමද දොඩවනවාය. ගොම්මන් වෙලාවට වතුර ගේන්න ළිඳට ගිය කෙල්ල යකාට බයවුණාම පටන් ගන්න දෙඩවිල්ල නවත්වන්න කට්ටඩිකම් කරන්න වෙනවාය. දැන් නම් ළිංවලින් වතුර ගන්නේ නැති නිසා ටැප් ළඟ ඉන්න යක්කු එක්ක දෙඩවිල්ලට යන තරුණියන් අමාරුවේ වැටෙනවාය.
පෙම්වතුන්ද දොඩවන්න හරි දස්සය. ඔවුන් පාළු තැන්වල ප්රේමාලෝකයේ තනි වී දොඩවනවාය. විවාහ වෙන්නට පෙර කොල්ලා දොඩවන දේවල් කෙල්ල ආසාවෙන් අසාගෙන ඉන්නවාය. විවාහ වූ පසු කෙල්ල දොඩවන දේවල් කොල්ලාට අසාගෙන ඉන්නා සිදුවෙනවාය. විවාහ වී ටික කලක් ගතවූ විට දෙදෙනා හයිහයියෙන් දෙඩවන දේවල් අසල්වැසියන් අසාගෙන ඉන්නවාය.
ගණන් කාරකමට මහ හයියෙන් දොඩවන අය පොලීසියට ගෙනාවිට දෙඩවිල්ල මතක නැති වෙනවාය. ඒත් එහෙම අයගේ දෙඩවිල්ල ආයෙත් ඇති කරන ක්රම සහ විධි රාළහාමිලා ළඟ තියෙනවාය.
ගිරවුන් කතා කරනවාටද කියන්නේ දොඩවනවා කියලාය. එක අම්මාගේ දරුවන් වන ගිරා පැටවූ දෙදෙනාගෙන් තාපසයන් ළඟට වැටුණු ගිරවා ඉතාම මෘදු වචන දොඩන්නට පුරුදු වුණේය. හොරුන් අසල වැටුණු ගිරා පැටියා දොඩවන්න පටන්ගත්තේ රළු වචනය. මෙයින් තේරෙන්නේ එක එක අයගේ දෙඩවිල්ල තමන් ඇසුරු කරන අයගේ හැටියට වෙනස් වෙන බවයි. ගිරවුන් දොඩවනවා කියන්නේ කිසිවක් නොදැන ඔහේ කියන්නන් වාලේ කියවනවාටය. ගිරවුන් වගේම දොඩවන අය ඉන්නේ සමහර රූපවාහිනී සහ එෆ්එම් නාළිකාවලය. ඒවායේ නිවේදන කටයුතු කරන ගිරවියන් තමන් දොඩවන්නේ මොනවාද කියා තමන්වත් දන්නේ නැත්තේය.
ඡන්ද දිනවල දේශපාළුවන් දස්ස ලෙස දොඩන්නේ ඡන්ද ගරාගැනිල්ලටය. ඒ දෙඩවිල්ලට අසු වූ ඡන්දදාසලා ඔහුට කතිරය ගහනවාය. ඒත් දිනුවාට පසු දුප්පත් ඡන්දදාසලාගේ දෙඩවිල්ල දේශපාළුවන්ට ඇහෙන්නේ නැති ගානය. ඒ අය ගමෙන් ඈත කොළඹ හතට පදිංචි මාරුකරන්නේ ඡන්දදාසලාගේ අතොරක් නැති දෙඩවිල්ල කන්දොස්කිරියාවක් ලෙස සලකලාය.