අද අපට බොහෝ දේවල් දැරිල්ලට සිද්ධ වෙලා තියෙනවාය. දරාගන්න බැරි දේවල් දරන්නට ගිහිල්ලා අමාරුවේ වැටුණු අයද ඉන්නවාය. ඕනෑම දෙයක් දරන්න පුළුවන් අයට දැඩි ආත්මශක්තියක් තියෙන බව කියනවාය. ඒත් හැම දෙයක්ම සතුටෙන් හෝ දුකෙන් දරාගන්න හැමදෙනාටම බැරිය. එහෙම දුක සැපට පුරුදු නොවූ අයට ඒවා දරාගන්නට අමාරුය. වැඩි සැප දරාගන්නට ගිහින් ගැටලු ඇති කරගත් අය වාගේම දුක දරා ගන්න අමාරුවේ වැටුණු අයත් ඉන්නවාය.
ඕනෑම බරක් දරන්නට පුළුවන් අය අද සමාජයේ බොහොම අඩුය. ඕනෑවට වැඩිය බර දරන්නට ගියොත් ගහක් වුණත් කඩාගෙන වැටෙනවාය. විශාල අතුවල බර දරාගන්න බැරිව කඩා වැටෙන ගස් වගේම තමන්ගේම ඵල දරාගන්න බැරුව කඩා වැටෙන ගස්ද තිබෙනවාය. ගහට දරාගන්න බැරි තරම් අතු හැදුණම ඒවා කඩාගෙන වැටෙන්නේ ඉබේටමය.
දිරිය දරුවන්ට පුරුදු කරන්නේ ඕනෑම බරක් දරාගෙන සිටින්නටය. අලසයාට නම් සුළු බරක්වත් දරාගන්න බැරි යැයි කියනවාය. වැඩියෙන් බර දරන්නට කප් ගහලා ඉන්නේ නාට්ටාමිලාය. නාට්ටාමිලා ඔසවන තරම් බරක් දරාගන්න සාමාන්‍ය අයට අමාරුය.
බර දැරිල්ල වැඩි වන තරමට උණ ගස පහළට නැමෙනවාය. එහෙම පහළට නැමෙන හින්දා බර දරාගෙන ඉන්න පුළුවන්ය. කෙළින් ඉන්න උත්සාහ කරන ලොකු ගස් බර දරාගන්නට බැරුව කඩා වැටෙනවාය. බර වැඩි වන තරමට සමහරුන් දෙකට තුනට නැමෙන්නේ දරාගන්න බැරිව මිස නිහතමානීකමට නොවේය. තමන් පිළිබඳ හීනමානය ඇති තැනැත්තා දරන්නට බරක් හැකි වුණත් වෙනත් අය ඉදිරියේ දෙකට තුනට නැමෙනවාය.
ඉස්සර කුඩා දරුවා පාසල් ගියේ ගල්ලෑල්ල හා ගල්කූරේ බර පමණක් දරාගෙනය. ඒත් අද වෙන කොට පොඩි එකාට තම බරටත් වැඩි බරක් දරාගෙන පාසල් යන්න සිදුවෙලා තියෙනවාය. එහෙම දරන්න සිදුව ඇත්තේ පොත්පත්වල බරට වඩා පාසල් උපකරණවල බරය. පාසලෙන් ගේන්න නියම කරන මේ දේවල්වල මුදල් බර දරන්නට සිදුවෙලා ඇත්තේ දුප්පත් දෙමවුපියන්ටය. එච්චර බරක් දරන්න බැරි හින්දා තම දරුවන් පාසල් නොයවන දෙමවුපියන්ද ඉන්නවාය.
අද රටේ කොහොමත් සිදු වෙලා ඇත්තේ පොහොසතාගේ බර දුප්පතාට දරන්නටය. පොඩි එකාට ලොකු එකාගේ බර දැරිල්ලට සිදුව තිබෙන නිසා පොඩි මිනිසා නැත්තටම නැතිවෙනවාය. පොහොසතාගේ බර දරන්නට සිදුවීමත් දුප්පතාද දුප්පත්කමේ පතුලටම වැටෙනවාය. එහෙත් මෙහි විලෝමය වෙන්නේ දුප්පතා අමාරුවෙන් හරි නිපදවන දේවල ප්‍රතිඵල දරන්නට පොහොසතා වාසනාවන්ත වී සිටීමය. දුප්පතාගේ ශ්‍රමයේ වටිනාකම දරාගෙන පොහොසතා තව තවත් පොහොසත් වෙනවාය. ඒත් දුප්පතා ජීවන බර දරාගන්න බැරිව අමාරුවේ වැටෙනවාය. ජීවන බර දරාගන්න බැරිව දුප්පතා මැරි මැරි උපදින විට රටේ ලොකු ලොක්කන් කියන්නේ ජීවන වියදම අඩුවෙලා කියලාය. මොන බර දරා ගැනිල්ලට පුළුවන් වුණත් අද දුප්පතාට බැරිවෙලා තියෙන්නේ වැඩිවන බඩු මිල දරාගන්නටය. බඩු මිල දරාගන්න බැරි හින්දා වේලක් ඇර වේලක් කන්න සිද්ධ වෙලා තියෙනවාය. ආණ්ඩු පෙරළුවත් දරාගන්න පුළුවන් විදියට මිල පහළ යන්නේ නැත්තේය. ඒ හින්දා දුප්පතාට හැමදාම සිදුව ඇත්තේ දරාගන්න බැරි ජීවන බරක් අමාරුවෙන් දරාගෙන සිටින්නටය.
සමහර අය අමාරුවේ වැටෙන්නේ තමාගේ පිටට කඩා වැටෙන වාසනාව දරාගන්න බැරුවය. අහක යන වාසනාවක් ඇගට කඩා වැටුණු විට එය දරා ගන්න එකවරම අමාරු වෙනවාය. සමහරුන්ට බලාපොරොත්තු නැති වේලාවක ස්විප් එකක් ඇදිලා කෝටිපතියකු වූ විට එය දරාගන්න බැරිය. එහෙම අය ලැබිච්ච මුදල් කන්දරාව කිසිම සැලසුමක් නැතුව කෙටි කාලයකින් නාස්ති කරලා ආපහු පරණ තත්ත්වයට වැටෙන්නේ ලැබුණ දේ දරාගැනිල්ලට බැරි වුණාමය. උගත්කම දරාගන්න බැරිවෙන කෙනාට උගත් පිස්සුව හැදෙනවායි කියනවාය. ඒ හින්දා තමන්ට ලැබෙන දුක වගේම සැපද දරාගන්නට ආත්ම ශක්තිය ඇතිකර ගත යුතුය.
දුක වේදනාව දරාගන්න බැරුව සියදිවි හානිකර ගන්න අයද සිටිනවාය. සමහරුන් තම ළඟම ඥාතියකු හදිසියේ මියගිය විට ඒ දුක දරාගන්න බැරුව තමන්ද මැරෙන්නට යනවාය. අනුන් කළ වැරදිවලට තමාට වන්දි ගෙවන්න සිදු වූ විට එය දරාගන්න බැරුව ගඟේ මුහුදේ පනින අයද ඉන්නවාය. පෙම්වතිය තරහ වූ විට පෙම්වතාට එය දරාගන්න බැරුව සියදිවි හානිකර ගන්නවාය. දෙදෙනාගේ ආදරයට වැඩිහිටියන් විරුද්ධ වන විට එම තත්ත්වය දරා ගන්න බැරුව දෙදෙනාම අත් පටලවා ගෙන කෝච්චියට පනින අවස්ථාද තිබෙනවාය.
බොහොම අමාරුවෙන් පෙම් සටන ජයගෙන විවාහ වන පෙම්වතුන්ට ඊළඟට මුහුණ දෙන්නට සිදුවන ගැටලු දරාගන්න නොහැකිව ජීවිත කාලකණ්ණි කර ගන්නවාය. දරුවන් එකා දෙන්නා වැඩිවන විට ජීවත් වෙන්නට අමාරු වෙලා දුක්විඳිල්ල දරාගන්නට බැරිව විවාහය කඩාකප්පල් කරගන්නටද යනවාය. මානසික පීඩනය වැඩි වන විට එම තත්ත්වය දැරිල්ලට නොහැකිව දරුණු තීරණවලට එළඹෙන්න සිද්ධ වෙනවාය. ගතට දැනෙන බර අමාරුවෙන් හරි දරාගන්න පුළුවන් වුණත් හිතට එන බර දරාගැනිල්ල ඉතාම අපහසුය. හිතට එන බර දරා ගන්නට නොහැකි වූ විට සමහරුන් පිස්සන් බවට පත් වූ අවස්ථාද ඇත්තේය.
අපේ බෝසතාණන් වහන්සේ දුක දැරිල්ලට පුදුම ආත්ම ශක්තියක් තිබුණු උත්තමයෙක්ය. සියලු දුක් දරාගෙන වසර හයක් තිස්සේ දුෂ්කරක්‍රියා කළේ නිවන ලබාගන්නටය. එයින් නිවනට යන්නට බැරි බව තේරුම් ගිය විට එම දුක් දැරිල්ල අතහැර මැදපිළිවෙතට යොමු වුණාය. බුදුබව ලැබුණට පසුවද තමාට මුහුණ පාන්නට සිදු වූ නින්දා අපහාසවලින් නොසැලී ඒ සියල්ල දරාගෙන සකල සත්ත්වයා සසරින් ගොඩදමන්නට උත්සාහ කළේය.
අද දේශපාලුවන් ඡන්දය ඉල්ලන්නේ දුප්පතාගේ බර දරනවා යැයි කියලාය. ඒත් ඒ ගොල්ලෝ ජයගන්නට පසු ඒ අය නඩත්තු කරන්නට බර දරන්නට වෙන්නේ බලයට පත් කළ ඡන්දදාසලාටය. නිතර නිතර ඉහළ යන දේශපාලුවන්ගේ වැටුප් හා දීමනා, වාහන, දුරකථන, ගෙවල් කුලී ආදී සෑම බිලකම බර දරන්න සිද්ධ වෙන්නේ දුප්පත් ඡන්දදාසලාටය. එහෙම අනුන්ගේ බර දරන්න වෙන්නේ පෙර කරුමයකටය කියලා හිත හදාගන්නවා හැර වෙන කරන්නට දෙයක් නැත්තේය.