බොහෝ දෙනා කියන්නේ වැඩියෙන් දඟලන්නේ කුඩා ළමයි කියලාය. සමහර දරුවන්ට %දඟමල්ල^ යැයි කියන්නේ එහෙම වැඩියෙන් දඟලන හින්දාය. කුඩා උන් දඟලන්නේ ළමාකම නිසාය යැයි කිව හැකිය. ඒත් අද ළමයින්ට වැඩියෙන් දඟලන වැඩිහිටියන් එමටය. ලොකු අය ඕනෑවට වඩා වැඩියෙන් දඟලන්නේ කැපී පෙනෙන්නටය. ඒත් දැඟලිල්ලේ තරමට ඒගොල්ලන්ගේ වැඩ නැත්තේය.
කොල්ලන්ට වඩා වැඩියෙන් දඟලන්නේ කෙල්ලන්ය. කෙල්ලන් එහෙම දඟලන්නේ එම සිතැඟි ඉටුවන තුරුය. සමහර කෙල්ලන් දඟලන්නෙ කොල්ලෙක් දපනෙ දාගන්නා තුරුය. එහෙම වුණාම දැඟලිල්ල අඩුවන කෙල්ලන්ද සිටින නමුත් සමහර අයගේ දැඟල්ල එක කොල්ලෙකුගෙන් අඩු වන්නේ නැත්තේය. කෙල්ලන්ගේ ගැටවලට අහුවන කොල්ලන්ට සිදුවන්නේ සදාකාලිකව ගැට ලිහාගන්න දඟලන්නටය.
සමහරුන් දඟලන්නේ කහබිලියා ගෑවිලා වගේය. කහබිලියා ගෑවුණු අයගේ දැඟලිල්ල ටික වෙලාවකින් අඩුවන නමුත් සමහර අයගේ දැඟලිල්ල එහෙම අඩුවෙන්නෙ නැත්තේය. කොල්ලන්ගේ, කෙල්ලන්ගේ දැඟලිල්ල පරාද කරමින් වයසක අයද දඟලන්න පුරුදු වෙලා ඉන්නවාය. %නාකි විසේ ගෙටත් උසේ^ යැයි කියන්නේ එහෙම දඟලනවා දකින විටය.
ඇටිකෙහෙල් කාපු උගුඩුවන් දඟලන්නෙ පහරන්න බැරුවය. එහෙම ඇටිකෙහෙල් නොකෑවත් සමහර අය සදාකාලිකවම පහරන්න බැරුව වාගේ දඟලනවාය. මෙවැනි දැඟලිලි අඩු කරන ක්රම සහ විධි සොයාගන්න අමාරුය.
පන්තියේ වැඩියෙන් දඟලන්නේ වැඩ බැරි ළමයි යැයි කීවේ ඉස්සරය. ඒත් අද වැඩ බැරි එකාට වඩා වැඩියෙන් දඟලන්නේ පුළුවන් ළමයින්ය. කොහොමත් වැඩිය දඟලන්නේ නැතිව උපාසක ලීලාවෙන් ඉන්නා අය වැඩියෙන් භයානකය.
දඟලන ළමයි හික්මවා ගන්න දඬුවම් කරන්න සිදුවෙනවාය. ඒත් අද නම් ගුරුවරුන්ට දඟලන ළමයින්ට දඬුවම් කිරීම තහනම් කර තියෙන නිසා පන්තිවල විනය බින්දුවට බැහැල තියෙනවාය. දඟලන ළමයි හසුරුවා ගන්න බැරිව ගුරුවරයා බලාගෙන ඉන්න කොට ළමයි හදන්නෙ ගුරුවරයා බයකර ගන්නටය.
හැළියේ දැමූ කකුළුවා දඟලන්නේ තමන්ට හොඳ පොකුණක් ලැබුණා යැසි සිතාගෙනය. එහෙම දඟලන එකාගේ දැඟලිල්ල වැඩි වෙන්නෙ හැළියේ වතුර ටික ටික රත්වන විටය. දඟලලා දඟලලා අන්තිමට ඒ උගේ අන්තිම දැඟලිල්ල කර ගන්නවාය. මකුළුවාගේ දැලට හසුවන කෘමියා ගැලවෙන්න දඟලන කොට තව තවත් දැලේ පැටළෙනවාය. අන්තිමට ඌ මකුළුවාට අසු වූ විට දැඟලිල්ල සඳහටම අවසන් වනවාය. දැලට අසු වූ මාළුවා දඟලන්නේද දැලෙන් ගැලවෙන්නටය. දැලෙන් ගොඩ වූ පසු උගේ දැඟලිල්ල ටික ටික අඩුවෙන්නේය. වටුවැද්දාගේ දැලට අසු වූ වටු රැළ කළේ ගැලවෙන්න දඟලන්නෙ නැතිව දැල ඔසවාගෙන පියඹා ගොස් කටු අකුලක තබා ගැලවී යෑමය. ඒත් ඊට පස්සෙ ඔවුන් අමාරුවේ වැටුණේ අසමගියෙන් දඟලන්න යෑම නිසාය.
බඩේ පණුවන් දඟලන්නේ බඩගින්න වැඩි වුණාමය. එහෙම බඩ පණුවන් දඟලන කොට සමහරු කියන්නෙ පණුවන් බඩේ බොක්ෂිං ගහනවා කියාය. දුප්පතා දඟලන්නේ බඩෙන් අඩක් හෝ පුරවා ගන්නට කෑම ටිකක් සොයා ගන්නටය. ඒත් ඉස්මුරුත්තාවට කෑම කාපු එකා දඟලන්නේ පිරිච්ච බඩ අඩුකර ගන්නටය.
සමහරු දඟලන්නේ තම වැඩය කර ගන්නටය. වැඩ හරිගියාට පසු මුලින් තිබූ දැඟලිල්ල අඩු වෙනවාය. උදේ සිට රෑ වනතුරුම දුප්පතා දඟලන්නේ කීයක් හෝ සොයා ගැනීමටය. ඒත් සල්ලි තියෙන පොහොසතා එයින් නොසැළී නැවතත් සල්ලි හොයන්න දඟලනවාය. සල්ලි හොයන්න දඟලන ඒ දැඟලිල්ලේ අවසානයක් නම් කිසිදා නැත්තේය.
හාම්පුතා දඟලන්නේ අඩු පඩියට සේවකයන්ගෙන් වැඩ ගන්නටය. සේවකයන් දඟලන්නේ තම ඉල්ලීම් දිනාගන්නටය. උද්ඝෝෂණය කරමින් දඟලන අය ඊළඟට වැඩවර්ජනය කරමින් දඟලනවාය. කොච්චර දැඟලුවත් හාම්පුතුන් ඉල්ලීම් දෙන්නේ නැතිය. ඒත් ආණ්ඩුවේ සේවකයින් දඟලන විට බයවෙන ලොකු අය නම් ඉල්ලීම් දෙන්න කැමැති වෙනවාය.
පිස්සා දඟලන්නෙ පිස්සු වැඩි වුණාමය. එහෙම වැඩියෙන් දඟලන පිස්සන් මෙල්ල කරන්න අතපය බැඳලා දාන්න වෙනවාය. නැට්ටුවා අඩි අල්ලමින් දඟලන්නේ කීයක් හරි හොයා ගන්නටය. තොවිල් කරන විට පරල වෙලා දඟලන අයද ඉන්නවාය. බෙර පදයට දඟලන ආතුරයාගේ නැටිල්ල බෙර පදය නැවතුණු පසු ඉවර වෙනවාය.
දෙන්නෙක් ගහගන්නා විට සාමදාන කරන්නට ගියොත් දැඟලිල්ල වැඩි වෙනවාය. දෙන්නා දෙපැත්තට කරලා රණ්ඩුව බේරන්න හදන විට දැඟලිල්ල වැඩිය. ඕන තරම් ගහ ගනිල්ලා යැයි අතහැරිය විට දැඟලිල්ල ඉබේම අඩු වෙනවාය.
බළලා ගහට නැගපු පසු දඟලන්නේ බහින්න දන්නේ නැතිවය. පහළ ඉන්න අය නිතරම දඟලන්නේ ඉහළට යන්නටය. ඒත් එහෙම ඉහළට ගිය අය ආපසු පහළට වැටෙන්නේ කිසිම දැඟලිල්ලක් නැතිවය. ඒ හින්දා ඉහළට යන්න දැඟලිල්ල නම් එච්චර ඇඟට ගුණ නැත්තේය.
බඩු ගණන් වැඩි වූ පසු ජනතාව දඟලන්නේ මිල අඩුකර ගන්නටය. ඒත් වෙළෙන්දන් දඟලන්නේ මොන උප්පරවැට්ටියක් කරලා හෝ නැග්ග බඩු මිල එහෙමම තියා ගන්නටය. දේශපාළුවන් ඡන්දය ගන්න දඟලන්නේ බඩු මිල අඩු කරන බව කියමින්ය. එහෙත් ඡන්දය දිනුවාට පසු ඒගොල්ලන් දඟලන්නේ බඩු මිල අඩු කරනවා වෙනුවට තමන්ට ලැබෙන වාසි
වැඩි කර ගන්නටය.