වර්ෂා සමයේ ආරම්භයත් සමගම ඩෙංගු අවදානම යළිත් හිස එසවීමට පටන්ගෙන තිබේ. පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකාවේ කාලගුණික විපර්යාසයන් හේතුවෙන් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සංඛ්‍යාත්මකව ඉහළ ගියේය. කාලගුණික විපර්යාසයන්ට අමතරව අපේම වැරදීම් හේතුවෙන්ද ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීමට වක්‍ර දායකත්වයක් ලැබී තිබිණි. විශේෂයෙන්ම ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වීමට අවශ්‍ය සාධකයන් අප අතින් පරිසරයට මුදා හැරුණි. නමුත් අප මෙය පිළිගැනීමට කැමති නැත. අප විසින් ඉවත දමන ලද කුණු කසළ පවා ශුද්ධ කර ගැනීමට පවා අපි අලස වී සිටිමු.
මෙසේ විවිධ සන්දර්භයන් පිළිබඳව අප කතා කළද, වසංගත රෝග මර්දනයට සෞඛ්‍ය පරිපාලනයේ මැදිහත්වීම තීරණාත්මක සාධකයක් බව පැවසිය යුතුය.
වසංගත රෝග පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනෙකුත් කලාපීය රටවලට සාපේක්ෂව ඉදිරියෙන්ම සිටී. පසුගිය කාලයේදී බරවා, මැලේරියා, ලාදුරු වැනි වසංගත රෝගයන් ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට සමත් වූ අතර, HIV හා ඩෙංගු හැරුණු කොට වසංගත රෝග තුරන් කිරීම හා පාලනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ප්‍රශංසනීයය. මැලේරියා රෝගය තුරන් කිරීම සඳහා පරිපාලනමය වශයෙන් ලබාගත් තීන්දු තීරණ හා සිදුකළ ක්‍රියාවන් මෙහිදී අපගේ අවධානයට යොමු කළ යුතුය.
පසුගිය කාලයේදී මැලේරියාව හා ලාදුරු පිළිබඳව වාර්තා වූයේ උතුරු පළාතෙනි. එසේ වීමට හේතු සාධක ඇත. යුද්ධය අවසන්වීමත් සමගම දකුණු ඉන්දියාව සමග ඇති ගනුදෙනු වැඩි වී ඇත. සරණාගතයන් ලෙස සිටි පිරිස් නැවතත් තමන්ගේ වාසස්ථාන වෙත පැමිණෙයි. දකුණු ඉන්දියාවෙහි සෞඛ්‍ය, සනීපාරක්ෂක කටයුතු හා වසංගත රෝග පාලනය සඳහා ලංකාවේ තරම් සෞඛ්‍ය අංශයන් ප්‍රමුඛතාවක් ලබානොදේ. එබැවින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් හරහා නැවතත් ලාදුරු සහ මැලේරියා යන තුරන් කළ රෝගයන් මතුවීමට හැකි සම්භාවිතාව වැඩිය. මෙම රෝග පාලනය සඳහා සෞඛ්‍ය පරිපාලන කටයුතු තීරණාත්මක සාධකයකි.
මැලේරියාව තුරන් කිරීම සඳහා කටයුතු කරන කාලයේදී සෞඛ්‍ය පරිපාලකයන් රෝග ව්‍යාප්තිය නැවත්වීම සඳහා අංශු මාත්‍රික කාරණා කෙරෙහිද අවධානය යොමු කළහ. මෙයට උදාහරණයක් ලෙස ඉන්දියාවේ වන්දනාවේ යන වන්දනාකරුවන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය අරමුදල සමග සාකච්ඡා කොට එයින් ලැබුණු මුදලින් මදුරු දැල් ලබාදීමට කටයුතු කිරීම පැවසිය හැක. මෙය ප්‍රෝටෝනයක් තරම් වූ පුංචි කාරණයක් වූවද එමගින් ලැබුණු ප්‍රතිඵල ඉතා විශාල විය.
උතුරු පළාතෙන් නැවතත් මැලේරිය වාහක මදුරු විශේෂයක් හා රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වූ බව මාධ්‍ය වාර්තා මගින් දැක ගන්නට ලැබිණි. පරිපාලකයන් කළ යුත්තේ මැලේරියාව තුරන් කළා යැයි පුරසාරම් නොදොඩා නැවත රෝගය මතුනොවීම සඳහා අතපය බැඳගෙන නොසිට ක්‍රියාත්මක වීමයි. තවද එම රෝගය පිළිබඳව විමර්ශනශීලීව සිට නැතිකළ දේ නැවත ඇති නොවීමට වගබලා ගත යුතුය.
අද වනවිට HIV ඒඩ්ස් රෝගය පැතිරයාමේදී යම් මට්ටමක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එය පාලනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. නමුත් සමහර නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් ඒඩ්ස් මර්දන වැඩසටහන් අකර්මණ්‍ය වීමට හේතුවී ඇත. ශ්‍රී ලංකාවේ තුන්වැනියට වැඩිම ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. මේ වනවිටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ HIV හඳුනා ගැනීමේ සායන හා ජංගම සායනයන් අකර්මණ්‍ය වී ඇත. කුරුණෑගල ශීක්ෂණ රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරයෙකු හා තවත් වෛද්‍ය නිලධාරීන් 04 දෙනෙකු ලිංගාශ්‍රිත රෝග ඒකකයෙහි (STD) සේවය කර තිබේ. නමුත් දැන් සිටිනුයේ විශේෂඥ වෛද්‍යවරයා හැරුණු විට පුහුණුවලත් (ලිංගාශ්‍රිත රෝග) එක් වෛද්‍යවරයෙකු පමණි.
මෙහි සේවය කළ සිවුදෙනාගෙන් එක් අයෙකු වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා වෙනත් රෝහලකට මාරු වී ගොස් ඇත. අනෙක් වෛද්‍යවරයා පුහුණුවකට සහභාගි වී ඇත. දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය කොරියානු සංචාරයක් සඳහා සහභාගි වීම හා ඇයගේ පරිපාලනමය දුර්වලතා නිසා ඒවා පියවා ගැනීම සඳහා වැඩබලන දිස්ත්‍රික්ක නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ප්‍රා‘දේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට අනුයුක්ත කරගෙන ඇත.
මෙසේ අනුයුක්ත කර ඇති වෛද්‍යවරයා ලිංගාශ්‍රිත රෝග ඒකකයෙහි වැඩ කළ අයෙකි. සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම තවත් බලධාරීන් විරුද්ධත්වය ප්‍රකාශ කර තිබියදීත් මෙම වෛද්‍යවරයාව ප්‍රා‘දේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට අනුයුක්ත කරගෙන තිබේ. මේ නිසා කුරුණෑගල රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ කටයුතු සෑහෙන ප්‍රමාණයකින් අඩු වී ඇත. රජයෙන් එක් ඒඩ්ස් රෝගියකු වෙනුවෙන් ලබාදෙන ඖෂධ කට්ටලයක දළ වටිනාකම රු.150,000ක් පමණ වේ. මෙසේ විශාල වශයෙන් රජය රෝගීන් වෙනුවෙන් වියදම් කරද්දී පරිපාලනයෙහි පිරිස් තම පෞද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කරගැනීමට සිදු කරන්නාවූ ක්‍රියා හේතුවෙන් රජයේ හා රෝගීන්ගේ අභිලාෂයන් ඉටු කරගැනීමට නොහැකි වීම අතිශය ඛේදජනකය.
ඩෙංගු මර්දනය කිරීම වෙනුවෙන් පරිපාලන නිලධාරීන් මීට වඩා උනන්දු විය යුතුය. ඩෙංගු වැඩි වුණා කියා දේශාපලඥයාට බැණ අඬගසා වැඩක් නැත. ඩෙංගු මර්දනයට බෝඩ් ගසා බැනර් ගසා වැඩක් නැත. ජනතාව ඒ පිළිබඳ දැනුවත් කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතු දෙයකි. ගෙයින් ගෙට යමින් ජනතාව දැනුවත් කිරීම, ඩෙංගු මර්දන කමිටු මීට වඩා පිහිටුවා කාර්යක්ෂම කිරීම ඉතා වැදගත්ය. මාධ්‍ය ඉදිරියේ ධුමායනය කළාට සත පහක වැඩක් නැත. ධුමායන කටයුතුද ක්‍රමිකව හා අඛණ්ඩවම සිදුකළ යුත්තකි.
තවද පාසල් ශුද්ධ පවිත්‍ර කිරීම හා පාසල් දරුවන් විශේෂයෙන් දැනුවත් කිරීම සිදුකළ යුත්තකි. ඩෙංගු මර්දනය සඳහා ජනතා සහාය අවශ්‍යම වන අතර. තමුන්ගේ කුණු තමුන්ම ශුද්ධ කර නොගැනීමෙන් අනර්ථය වන්නේ ඔබටමය. ඩෙංගු මර්දනය සඳහා කීට විද්‍යාඥයන් මීට වඩා සහභාගි කරවාගත යුතුය. විශේෂයෙන්ම මදුරුවන්, කීටයන් පිළිබඳවත් ඔවුන් මර්දනය කරන අයුරුත් දන්නේ කීට විද්‍යාඥයන්ය. වෛද්‍යවරුන් කළ යුත්තේ ඩෙංගු වැලඳුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීමත්. ජනතාව දැනුවත් කිරීමත් හැර මදුරුවන් මැරීම නොවේ.එබැවින් කීට විද්‍යාඥයින් තව තවත් බඳවා ගනිමින් අවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාසවලට එක් කීට විද්‍යාඥයෙකුවත් ලබාදීම කාලෝචිතය.
මෙවැනි වසංගත රෝග නැති කර දැමීම සඳහා පරිපාලනමය වශයෙන් මීටත් වඩා නිලධාරීන් සැලකිලිමත් විය යුතුය. සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවය වෙනුවෙන් ප්‍රශස්ථ ලෙස කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම ඩෙංගු රෝගීන් සඳහා අමතර වාට්ටු ඉදිකෙරුෙණ්ද රාජිත අමත්‍යවරයාගේ මැදැහත් වීමෙනි.
ඖෂධ වර්ග 48 මිල අඩුකරමින්, දුම්කොළ බදු 90% දක්වා වැඩිකරමින්, සීමා වී තිබුණු පිළිකා රෝගීන්ට ලබාදෙන මුදලෙහි සීමාව ඉවත් කරමින් රැඩිකල් තීන්දු රැසක්ගත් රාජිත අමාත්‍යවරයාට මේ පරිපාලනයමය හා ආකල්පමය ගැටලු අභියෝගයක් නොවනු ඇත. විශේෂයෙන්ම තමුන් අනෙකාට වඩා උසස් යැයි සිතාගෙන කටයුතු කරන සෞඛ්‍ය අංශයේ සිටින වෘත්තිකයන්ගේ මේ ආකල්පය වෙනස් කළ යුතුය. වෘත්තියට සියල්ල බද්ධව ගමන් නොකළත් එහි අනර්ථය සිදුවන්නේ ජනතාවටය. තවද නිලධාරීන්ද ඉඩම්ගොඩ බදාගත්තා සේ තමුන්ගේ විෂයන් තනිව බදාගෙන නොසිට අනෙකුත් අදාළ අංශ සමග සාමූහිකව ක්‍රියා කළ යුතුය. මෙසේ ආකල්පමය හා පරිපාලන වෙනසක් සිදුකිරීමට නොහැකි නම් නිරෝගීමත් සමාජයක් බිහිකිරීමට රජය වියදම් කරන මුදලින් කිසිදු ප්‍ර‘යෝජනයක් නොමැත. ඒවා ගඟට කැපූ ඉණිමෙන් වනු ඇත. සෞඛ්‍ය සේවයෙහි පරිපාලනය මෙන්ම ආකල්පයන්ද වෙනස් කිරීමට හැකි නම් සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ උන්නතිය සිදුවිය හැක.