ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ චීන සංචාරය දෙස ලෝකයම බලා සිටියේය. එයට ප්‍රධානම හේතුව වූයේ උතුරු කොරියාව සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ තිබූ වෙනස් අදහස්ය. චීනය උතුරු කොරියාවේ ක්‍රියාකලාපය අනුමත නොකළද එයට විරුද්ධත්වයක් පෙන්වූයේද නැත. මේ හරහා ට්‍රම්ප් චීනයට ගොස් කියන්නේ කුමක්ද, චීනය එයට දක්වන ප්‍රතිචාරය කුමක්ද, යන්න ගැන දැඩි අවධානයක් යොමු වුණි. එසේම එය ලෝක සාමයට වඩාත් බලපෑම් කරන සාධකයක් බවටද පත්ව තිබිණි.
ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ඡන්ද ව්‍යාපාර කරගෙන යද්දී &අපේ රට දූෂණය කිරීමට චීනයට ඉඩ දෙන්න බැහැ* යැයි ප්‍රසිද්ධියේ පැවසුවේය. එහෙත් ජනාධිපති ට්‍රම්ප් චීනයේ දී කළ කතාව ඊට වඩා වෙනස් විය. &තමන්ගේ ජනතාව වෙනුවෙන් තවත් රටකින් වාසියක් ගැනීම ගැන රටකට චෝදනා කරන්නේ කෙසේද,* කියා ට්‍රම්ප් පැවසුවේය. ඒ අනුව ඔහුගේ චෝදනාව ඒ ආකාරයෙන් දිය වී ගියේය. එසේම චීනයේ ඉහළම තලයේ ව්‍යාපාරිකයන් හමුවේ ට්‍රම්ප් පැවසුවේ චීනයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් තමන් පැසසුම් කරන බවයි. ඒ අනුව 1972 දී ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන්ගේ ඓතිහාසික චීන සංචාරයෙන් පසුව චීනයේ දී වඩාත් නිදහසේ කටයුතු කළ චීන ජනතාවගේ ආදරයට පත් වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා බවට ට්‍රම්ප් පත්වූයේය. එදා නික්සන් ඇමෙරිකාව බලා ගිය පසු චීනය ඔහු ගැන ප්‍රසාදයෙන් පසුවූයේ කෙසේද, මෙවර ට්‍රම්ප් සම්බන්ධයෙන්ද එබඳු ප්‍රසාදයක් චීනයේ ඇති බව විශ්වාස කෙරෙයි. මීට පෙර 2005 දී ජොර්ජ් බුෂ්ගේ චීන සංචාරයේ දී බුෂ් කට කැඩුණු කතාවක් කළ අතර ඔබාමා 2009 සහ 2014 දී කළ සංචාරවලදීද මේ ආකාරයේ සිදුවීම් කිහිපයක්ම සිදු විය. එහෙත් ට්‍රම්ප්ගේ සංචාරය එයට වඩා වෙනස් විය.
බොහෝ දෙනා විමතියට පත්ව ඇත්තේ චීන ජනතාව අතර ට්‍රම්ප් සම්බන්ධයෙන් ඇති ප්රසාදයයි. ටියෑන් මියෑන් චතුරශ්‍රයේ සංචාරය කරද්දී කුඩා පාසල් දරුවෙක් &ට්‍රම්ප් සීයේ* කියා ජනාධිපති ට්‍රම්ප් ඇමතීම ගැන චීන ජනමාධ්‍ය යේ විශාල ප්‍රතිචාරයක් ලැබුණි. මේ ප්‍රසාදයට එක් හේතුවක් වන්නේ චීනයේ සිතුම් පැතුම් සමග ට්‍රම්ප්ගේ ක්‍රමය ගැලපීමයි. චීන විරෝධී ඇමෙරිකානු මාධ්‍ය පෙන්වන්නේ ට්‍රම්ප් ඒකාධිපතියෙකු වීම එයට හේතුව බවයි. එහෙත් ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ ට්‍රම්ප්ගේ සිතේ ඇති ජාතිකත්වය සිය රට ගැන ඇල්ම චීනය සමග සමපාත වීමයි. එසේම චීනයේ දී ට්‍රම්ප්ට ලැබුණේ ට්‍රම්ප් හෝ විශ්වාස නොකරන තරමේ පිළිගැනීමකි. එය චීන සංස්කෘතියේ ස්වභාවයයි. බොහෝ බටහිර ගැති දේශපාලන නායකයන් මේ ආකාරයේ ඉහළ පිළිගැනීම් හඳුන්වන්නේ තමන් දිනා ගැනීම සඳහා චීනය යොදන උපක්‍රම ලෙසය. එහෙත් චීනය එබඳු පිළිගැනීම් ලබා දෙන්නේ තමන්ගේ සංස්කෘතියේ අංගයක් ලෙසය. එය ඉතිහාසය පුරාම දැක ගත හැකි තත්ත්වයකි.
ට්‍රම්ප්ගේ සංචාරයෙන් දින කිහිපයක් ගතවෙද්දී චීනය නිවේදනය කළේ ජනාධිපති ෂී ජින්පින් ගේ විශේෂ නියෝජිතයෙකු උතුරු කොරියාව වෙත පිටත් කර යවන බවය. එහිදී සාකච්ඡා කරන්නට යන්නේ කුමක්ද යන්න ගැන හෙළි නොවූවද 2016 පෙබරවාරියේ දී චීන විශේෂ දූතයෙකු උතුරු කොරියාවට ගිය පසු වසරකට අධික කාලයකදී සිදුවන ගමනක් ලෙස මෙය දැක්විය හැකිය. කෙසේ වුවද චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයෙන් පසුව තමන්ගේ අසල්වාසී කොමියුනිස්ට් පාලනයක් ඇති රටවල් වෙත දූතයෙකු යවා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම චීනයේ සම්ප්රදායයි. එහෙත් මෙවර චීන දූතයාගේ උතුරු කොරියානු ගමන දෙස බොහෝ දෙනා බලා සිටින්නේ ට්‍රම්ප්ගේ චීන සංචාරය අතිශය සාර්ථක සහ සාමකාමී එකක් වීම නිසාය.
මෙතෙක් චීනයේ සංචාරය කළ ඇමෙරකානු ජානාධිපතිවරුන් චීනයට ගොඩ බැස්සේ තමන්ට වඩා පහළින් සිටින රටකට ගොඩබසින අදහස ඇතිවය. මෙවර ට්‍රම්ප් චීනයට ගොඩ බැස්සේ තමන් සමග කරට කර සිටින්නෙකුගේ රටකට ගොඩබසින ආකාරයටය. ජනාධිපති ෂී තමන්ගේ බලය උපරිමයෙන් තහවුරු කර ගෙන සිටින මොහොතක සහ චීනය ලෝකය තුළ විශ්වාසය තහවුරු කරගෙන සිටින මොහොතක ට්‍රම්ප් දැඩි විශ්වාසයෙන් චීනයට පැමිණියා යැයි විශ්වාස කරන්නට බැරිය. ඒ නිසා ඇමෙරිකාවේ දී මෙන් කට කැඩිච්ච කතා නොකියන්නට ට්‍රම්ප් වගබලා ගත්තා විය හැකිය. අනෙක් අතින් චීනය පැහැදිලිවම තමන්ට අවශ්‍ය කරන්නේ ලෝකය පුරා වෙළඳාම් කිරීමට පමණක් බැව් ලෝකයට තේරුම් කර දී අවසානය. ඒ හැරෙන්නට ඇමෙරිකාවට මෙන් අත්පත් කර ගැනීමේ වුමනාවක් චීනයට නැත. මේ නිසා ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉදිරියේ හැසිරෙන්නට ජනාධිපති ෂීට හැකි විය. එය සමස්ත චීනයේ විශ්වාසය ලෝකයට පෙන්වූ අවස්ථාවක් විය. කෙසේ වුවද චීනය ආර්ථිකයෙන් ඉදිරියට යන ගමන දෙස බලන විට මීලඟ ඇමෙරිකානු ජනාධිපතිවරයා චීනයට පැමිණීමට වඩා චීන ජනාධිපතිවරයා ඇමෙරිකාවට යෑම අතිශය සුවිශේෂ කටයුත්තක් වන බව නම් පැහැදිලිය.