රෝහින්ග්‍යා ප්රශ්නය මුල්කර ගනිමින් මෙතෙක් බටහිර නායකයන්ගේ ගිනිකොන දිග ආසියානු සුරතලිය වූ අවුන් සාන් සූ කී හදිසියේම ජන සංහාරයකට උඩ ගෙඩිදෙන්නියක වී සිටියි.
තමන්ගේ රටවල මහජාතිය සහ සුළු ජාතිය අතර ප්‍රශ්න විසඳා ගැනීමට බැරි බටහිර ජාතීන් හදිසියේම මියන්මාරයේ රෝහින්ග්‍යා ප්රශ්නය ගැන කිඹුල් කඳුඵ හෙළන්නට පටන් ගන්නේ රෝහින්ග්‍යාවරුන් සම්බන්ධයෙන් ඇති අනුකම්පාව නිසාම දැයි ප්‍රශ්න ඇතිවන්නට පටන් ගත්තේ පසුගිය දින කිහිපයේදීය.
ඒ අනුව යළිත් බටහිර නිරුවත එළියට එන්නේ චීනය, මියන්මාරයේ දියත් කරන සංවර්ධන ක්‍රියාවලිය සහ සූ කී චීනය සමග ගොඩනගා ගෙන ඇති හිතවත්කම බටහිර රටවල වර්තමාන හැසිරීමට මූලික හේතුව වූ බවට හෙළිවෙමිනි.
%ආසියන්^ සංවිධානය සහ චීනය ඉතා සමීප සම්බන්ධතා ගොඩනගා ගනිමින් ආර්ථික සංවර්ධනය මූලික ඉලක්කය කරගනිමින් කටයුතු කරමින් සිටියි. මියන්මාරයේ හමුදා පාලනය වඩාත් ශක්තිමත්ව පැවැති සමයේ චීනය මියන්මාරය සමග සමීප සම්බන්ධතා පැවැත්වීය.
එකල සූ කී සම්බන්ධයෙන් බටහිරට තිබුණේ වෙනත් අදහසකි. ප්රජාතන්ත්රවාදයේ ප්‍රතිමූර්තිය ලෙස සූ කී ඔවුන් විසින් හඳුන්වා දෙනු ලැබීය. එහෙත් හමුදා පාලනයෙන් කොටසක් තමන් වෙත යොමුකර ගෙන සිටි සූ කී, මියන්මාරයේ පාලනයට පැමිණි පසු චීනය සමග සමීප සබඳතා ආරම්භ කළාය. සූ කී ඒ අවස්ථාවේදී සිදුකළේ තමන්ට වඩාත්ම සමීප බලවත් රාජ්‍ය සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමය. පසුගිය වසර දෙකක පමණ කාලයේදී චීනය මියන්මාරයේ කර ඇති ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8කි. එය සිංගප්පූරුව සහ වියට්නාමය විසින් මියන්මාරයේ කර ඇති ආයෝජන තරම් ඉහළ අගයක් නොවුවද, 1988 සිට 2017 ජනවාරිය දක්වා චීනය මියන්මාරයේ කර ඇති ඩොලර් බිලියන 19ක ආයෝජන සමග තරග කිරීමට අනෙක් රටවලට හැකියාවක් ලැබී නැත. අනෙක් අතින් පෙර කියූ කාලයේදී චීනයේ ආයෝජන අඩුවීමට එක් හේතුවක් වන්නේ සූ කීගේ හැසිරීම කෙසේ වේ දැයි චීනය නිරීක්ෂණය කිරීමය. මේ අනුව ඉදිරි කාලයේදී මියන්මාරය තුළ චීනයේ ආයෝජන වේගවත් වනු නොඅනුමානය.
සූ කීගේ බටහිර මෙන්ම ඉන්දියානු හිතවාදීත්වය හේතුවෙන් 2015 වසරේ මැතිවරණයෙන් පසුව ඇය චීනය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්දැයි බොහෝ දෙනා විමසිලිමත් වූහ. සූ කී පැවසුවේ මියන්මාරය, චීනය සහ ඉන්දියාව අතර යුද්ධය සිදුවන යුදපිටියක් නොව දෙරට එක් කරන පාලමක් විය යුතු බවයි. මෙයින් පසු සූ කී සහ බෙයිජිං අතර සම්බන්ධතාවන් වඩාත් ශක්තිමත් වනු දැකිය හැකිවිය. පාලනයට පැමිණි පසු ආසියානු කලාපයෙන් පිට සිදුවන ඇයගේ පළමු විදේශ සංචාරය චීනය බලා සිදුවිය. මෙය බටහිර රටවලට සූ කී අහිමි වන බව පැහැදිලිව පෙනීගිය අවස්ථාවක් විය. එයින් පසු සූ කී අවස්ථා ගණනාවකදීම චීන නායකත්වය හමුවූවාය.
කෙසේ වුවද මියන්මාරයේ පිරිසක් තවමත් චීනය දෙස බලන්නේ වපර ඇසිනි. චීනය තමන්ට සේවයක් කිරීමට නොව ඔවුන්ට වාසියක් කර ගැනීමට මියන්මාරයට පැමිණ තිබෙන බව මියන්මාරයේ පිරිසක් සිතති. අනෙක් අතින් මියන්මාරයේ සිදුවන ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සෙමින් සිදුවීමද චීනයේ ආයෝජනයන් අඩුවීමට හේතුවක් වී තිබේ. ලෝකයේ දුර්වලම යටිතල පහසුකම් ඇති රටක් ලෙස හැඳින්වෙන මියන්මාරයේ යටිතල පහසුකම් නැංවීමට 2040 වනවිට ඩොලර් බිලයන 112ක ආයෝජන අවශ්‍ය බව ගණන් බලා තිබේ. මේ සඳහා චීනයේ ආයෝජන පමණක් නොසෑහෙයි. එහෙත් මෙවැනි දැවැන්ත ආයෝජනයකට මුලපිරීමට වර්තමානයේ සිටින හොඳම සහකරුවා චීනයයි. ඒ හේතුවෙන්ම චීනයට මියන්මාරයට පැමිණීමට ඇති හැකියාව වසා දැමීමට බටහිර රටවල් උත්සාහ දරයි. එහි එක් අවස්ථාවක් වන්නේ දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වයක් රටේ ඇති කිරීමය. රෝහින්ග්‍යා ප්රශ්නය හේතුකර ගනිමින් මියන්මාරය කලාපයේ ත්‍රස්තවාදී මධ්‍යස්ථානයක් වේ යැයි දැනටමත් බටහිරින් මත පළවෙයි.
මේ අතර බටහිර රටවලින් ජන ඝාතකයෙකු ලෙස නොකියා කියන ආවුන් සාන් සූ කී මේ දිනවල චීනයේ ජනප්‍රිය චරිතයක් වෙමින් සිටියි. ආරක්ෂාව යන නම භාවිත කරමින් දියුණු වෙමින් සිටින රටවල්වලට ඇතුළු වීමට බටහිර රටවල් දරන උත්සාහයට දැඩි සේ විරුද්ධ චීන ජාතිකයන් සූ කී තනිවම බටහිරට විරුද්ධව කරන අරගලය දෙස සුබවාදීව බලමින් සිටියි. තමන්ගේ රට තුළ ඇති ප්රශ්නය නිවැරදිව ඇය විසඳාගත යුතු බවත්, කිසිදු ජාතිකයට හිංසනයක් නොවිය යුතු බවත් චීනයේ අදහස වෙයි. එහෙත් එය විසඳන්නට කියා බටහිර රටවල් කරන අතපෙවීම බහුතර චීන ජාතිකයන්ගේ විරෝධයට හේතු වී තිබේ. මේ නිසා සූ කී වඩාත් විශ්වාසයෙන් බටහිරින් එල්ලවන ප්‍රහාරයට සූදානමින් සිටියි.
ඩොනල්ඩ් ට්‍රම්ප් එළිපිට මුස්ලිම් වර්ජනයක යෙදුණේය. එදා කිසිවෙකු ඔහුට විරුද්ධව කටයුතු නොකළේය. ඔහුට හොඳ දේ අද සූ කීට හොඳ නැත. මෙතැන ඇත්තේ ජාතීන් අතර අර්බුදයක් නොවේ. හුදකලා සිදුවීම් තමන්ට අවශ්‍ය ආකාරයට බටහිර රටවල් අර්ථ දක්වමින් සිටියි. ඔවුහු රෝහින්ග්‍යා ගැන කතා කළද, තමන්ගේ මතයට විරුද්ධ මුස්ලිම් රටවල් විනාශ කිරීමේ ක්‍රියාදාමයක යෙදෙති. සියල්ල තීරණය වන්නේ රටක ශක්තිමත්භාවය මතය. මියන්මාරය අතිශය දුර්වලය. එහෙයින් ඔවුන්ට බටහිර පීඩනය වැඩිය. සෑම දෙයටම පෙර ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් විය යුතු බව මියන්මාරට අපට පෙන්වා දෙයි.