කාලයක සිට ලෝකයේ සුපිරි බලවත් නායකයා ලෙස විශ්වාස කෙරුණේ ඇමෙරිකාවේ ජනාධිපතිවරයාය. ඇමෙරිකාව ලෝකයට කරන බලපෑම මත ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෝකයේ තීරණාත්මක සාධකය විය. එහෙත් තවත් සුළු කාලයක් ඇතුළත ෂී ජින්පින්ග් ලෝකයේ තීරණාත්මක සහ සුපිරි බලවත් නායකයා බවට පත්වන බව සතියක් පුරා පැවති චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය නිමාවේදී දැකගත හැකි විය. චීන ජනාධිපති ෂී ජින්පින්ග් චීනය %නව යුගයක්^ කරා ගෙන යන බවට පොරොන්දු වූ අතර, එම නව යුගය ලෝකයටද නව යුගයක් වනු ඇතැයි මේ වන විටත් නොයෙක් අදහස් පළ වී හමාරය. එය බටහිර දෘෂ්ටිකෝණයෙන් නම් චීන ආක්‍රමණයක් වන අතර, නැගෙනහිර ආසියාතික දෘෂ්ටිකෝණයෙන් නම් බටහිර ආධිපත්‍යයෙන් ලෝකය මුදාගැනීමක් වනු ඇත.
ජනාධිපති ෂී චීන ජනතාව අතර මෙන්ම තමන්ට වඩාත් වැදගත් වන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් අතරත් අතිශයින් ජනප්‍රිය චරිතයක්ව තම දෙවැනි ධුර කාලය අරඹනු ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ මාඕ සේතුං සහ ඩෙන් ෂියාඕපින්ගෙන් පසුව කොමියුනිස්ට පක්ෂ ව්‍යවස්ථාවට ජනාධිපති ෂීගේ දැක්ම මෙවර කොමියුනිස්ට් පක්ෂ සමුළුවේදී ඇතුළත් කෙරුණි. ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවේ නම සඳහන් වන නායකයන් තිදෙනාගෙන් කෙනෙකු බවට ජනාධිපති ෂී පත්විය. මාඕ සේතුං මහජන චීනය බිහි කළ නායකයා වන අතර, ඩෙන් ෂියාඕපින් චීනය ගොඩනැගූ නායකයා වෙයි. ජනාධිපති ෂී චීනය නැවතත් ප්‍රබෝධමත් කළ නායකයා ලෙසින් ඉතිහාස ගත වනු ඇතැයි විශ්වාස කෙරේ. එසේ කියන්නේ චීනය එතෙක් ගමන් කළ මාර්ගය ලෝකය දෙසට හරවා චීන ජනතාවට අලුත් බලාපොරොත්තුවක් දීමට ජනාධිපති ෂී සමත් වූ නිසාය.
අප පසුගිය සතියේ කතාබහ කළ ආකාරයටම ජනාධිපති ෂීගේ ගමනද ගෝලීයකරණ මුල් කරගත් ගමනකි. එහෙත් එහිදී චීන රජයේ මැදිහත් වීම වැඩි වශයෙන් දක්නට ලැබේ. ඒ හරහා රටවල් වෙත බලහත්කාරයෙන් කඩා වැදීමේ බටහිර උපක්‍රමය චීනය බැහැර කරමින් සිටියි. මෙය ෙඩන් ෂියාඕපින්ගේ ක්‍රමයට පටහැණි බව ඇතැම් බටහිර විචාරකයන්ගේ මතයයි. ඩෙන් ෂියාඕපින් නිරන්තරයෙන්ම චීන ජනතාවට පැවසුවේ තමන්ගේ ශක්තිය ලෝකයට නොපෙන්වන ලෙසයි. එයට හේතුව වූයේ නිසි ලෙස ශක්තිමත් වනතුරු චීනයේ ශක්තිය ලෝකය දැන ගත යුතු නොවේ යැයි ඔහු විශ්වාස කළ නිසාය. එය නිවැරදි තීරණයක් වූයේ චීනයේ ශක්තිය නිවැරදිව දැනගත්තේ නම් බටහිර ලෝකය ශක්තිමත් වෙමින් සිටින චීනය විනාශ කරන නිසාය. එහෙත් බටහිරට මුහුණ දීමට තරම් ශක්තිමත් වූ පසුව ශක්තිය සඟවා ගැනීමට අවශ්‍ය නැත. ජනාධිපති ෂී සිදුකළේ ශක්තිය මුදාහැරීමයි. බටහිර නොසිතූ තරම් ශක්තිමත්ව චීනය එක්වර නැගී සිටීම බටහිර පුදුමයට පත්කිරීමක් වී තිබේ. ඒ සමගම බටහිර ලෝකය දෙසට නැමී සිටි බොහෝ සංවර්ධනය වන රටවල් චීනය දෙසට නැඹුරු වීමට පටන් ගත්තේය. Pew (www.pewresearch.org )සමීක්ෂණ වාර්තා අනුව ඇමෙරිකානු ජනාධිපතිවරයා විශ්වාස කිරීමට වඩා චීන ජනාධිපතිවරයා විශ්වාස කිරීම නිවැරදි තීරණයක් බැව් රටවල් 37ක ජනතාව මේ වනවිට සනාථ කර ඇත. මෙය තම ශක්තිය ලෝකයට ප්‍රදර්ශනය කිරීමට මීට වසර 4 කට පෙර ජනාධිපති ෂී ගත් තීරණයේ ප්රතිඵලයකි. ජනාධිපති ෂි ඉදිරිපත් කළ One belt One Road සංකල්පය හරහා බොහෝ රටවල් චීන සමග වෙළෙඳ ගනුදෙනු ඇරඹීය. චීනය සතුව මේ වන විට ඇති විදේශීය සංචිත වටිනාකම ඩොලර් ට්‍රිලියන 4කට අධිකය. ජනාධිපති ෂී ලොව බලවතා වෙමින් සිටින්නේ මෙවැනි ශක්තිමත් වටපිටාවක් සමගය.
චීනය සම්බන්ධයෙන් ලෝක මතය වෙනස් කිරීමට උත්සාහ කරන බටහිර මාධ්‍ය නගන තර්කය වන්නේ චීනය ගොඩනගන්නේ කොමියුනිස්ට් පක්ෂය නොව රටේ ජනතාව බවයි. එය පැහැදිලිය. රටක් ගොඩනගන්නේ ජනතාවයි. එහෙත් ජන සම්පත නිවැරදිව කළමනාකරණය කර රට නිවැරදි දිශාවකට යොමු කරන්නේ රටේ පාලකයන්ය. මෙහිදී පාලකයන් ගැන ඇතැම් විට වැඩි වශයෙන් කතා කිරීමට ඉඩ තිබේ. එහෙත් අවසානයේදී මෙයින් ප්‍රයෝජන ලබන්නේ රටක ජනතාවය. ඇතැම් ලිබරල් ආර්ථිකයක් ඇති රටවලට වඩා චීනය මිලියන ගණනක් දුප්පතුන්ගේ ජීවන මට්ටම උසස් කිරීමට ගෙන ගිය වැඩපිළිවෙළ ප්‍රශංසනීයය. මෙවර කොමියුනිස්ට් පක්ෂ සමුළුවේදී බටහිර මාධ්‍ය කිහිපයකට එම උත්සවය ආවරණය කිරීමට ඉඩ නොදීම මේ දිනවල බටහිර මාධ්‍ය අතර ඇති ප්‍රධාන පුවතයි. චීන ජනාධිපතිවරයා ඊයේ (25දා) ලොව පුරා මාධ්‍යවේදීන් හමුවේ පකාශ කර සිටියේ විෂය මූලික වාර්තාකරණය සහ වැඩදායක යෝජනාවන් කරන මාධ්‍ය චීනය සාදරයෙන් පිළිගන්නා බවයි.
%අපට කිසිවෙකුගේ වර්ණනා හෝ ප්‍රශංසා අවශ්‍ය නැහැ. එහෙත් විෂය මූලික වාර්තාකරණය සහ වැඩදායක යෝජනා අපි සාදරයෙන් බාරගන්නවා^ යැයි ජනාධිපති ෂී පැවසීය. එසේම චීනයෙන් පිටත සිට චීනය ගැන ලියන්නට උත්සාහ නොකර, චීනයට පැමිණ සත්‍ය ගවේෂණය කර ලියන්නැයි ඔහු මාධ්‍යයට ආරාධනා කළේය. %එක් වරක් දැක ගැනීම සිය වරක් අසා දැනගන්නවාට වඩා වැදගත්^ යැයි ඔහු පැවසීය. ජනාධිපති ෂීගේ ගමන පැහැදිලිය. මෙය වර්තමානයේ සංවර්ධනය කරා ගමන් කරන රටවල් බොහෝමයකට ආදර්ශයකි. බටහිර මාධ්‍ය ඔවුන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරනු ඇත. එය රටේ ප්‍රතිපත්තිවලට හෝ දියුණුවට බාධාවක් කර ගත යුතු නැත.