ඇමෙරිකාව ලෝකය ජයගැනීමට සැරසුනේ තර්ජනයෙනි. ලෝක පොලිස්කාරයා වෙමිනි. තමන්ට අවනත නොවන රටවලට සම්බාධක පනවමිනි. ඒ සියල්ල හරහා ඔවුන්ගේ අභිප්‍රාය වූයේ තමන්ගේ වෙළෙඳාම ශක්තිමත් කිරීමයි. චීනයද තමන්ගේ ආර්ථිකය දියුණු වෙද්දී වෙළෙඳාම ශක්තිමත් කිරීමේ කාර්යයේ යෙදී සිටියි. එහෙත් චීනයට ලෝක පොලිස්කාරයා වීමට අවශ්‍ය නැත. තවත් රටකට තර්ජනය කිරීමට අවශ්‍ය නැත. තවත් රටක් පාලනය කිරීමට හෝ වෙනත් රටක් කොල්ලකෑමට අවශ්‍ය නැත. චීනය තමන්ගේ මිතුරා ශක්තිමත් කරමින් ලෝකය පුරා තමන්ගේ වෙළෙඳාම සිදුකරයි.
නැගෙනහිර යුරෝපයේ රටවල් 16ක නායකයන් සමග හංගේරියාවේ බුඩාපස්ට් නුවරදී දින දෙකක විශේෂ සමුළුවකට එක්වූ චීන අගමැති ප්රමුඛ දූත පිරිස එය නිමා කරමින් පසුගිය අඟහරුවාදා නැගෙනහිර සහ මධ්‍යම යුරෝපීය නායකයන්ට පොරොන්දු වූයේ ඩොලර් බිලියන 3ක ආයෝජන කිරීමට චීනය සූදානම් බවයි. මෙය නැගෙනහිර සහ මධ්‍යම යුරෝපයේ සතුටට හේතු වන කරුණක් වුවද යුරෝපීය සංගමය (EU) නම් සසල වී ඇතුවාට සැක නැත. බ්රසල්ස්හි පිහිටි යූරෝපීය සංගමයේ මූලස්ථානයෙන් කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් නොමැති වුවද බ්‍රිතාන්‍ය යුරෝපීය සංගමයෙන් ඉවත් වීමෙන් පසුව ඔවුන්ට දැනුණු බරපතළම තිගැස්ම මෙය විය හැකිය.
චීනය ලබාදුන් මේ පොරොන්දුව මේ වන විටත් ඔවුන් නැගෙනහිර යුරෝපයේ සිදුකරමින් යන ආයෝජන සම්බන්ධයෙන් නිල වශයෙන් ලෝකයට දැනුම් දීමක් බව පැහැදිලි වෙයි. චීනය නැගෙනහිර යුරෝපයට පැමිණීම කොතරම් වැදගත් වී ඇතිදැයි හංගේරියානු අගමැති විකටර් ඔර්බාන් විසින් සිදුකළ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. ඔහු පැවසුවේ නැගෙනහිර යුරෝපීය රටවල් චීනයේ ආයෝජන ලබාගැනීමට දැවැන්ත තරගයක යෙදෙන බවයි. යුරෝපයේ දුප්පත් රාජ්‍යයන් ලෙස හැඳින්වෙන නැගෙනහිර යුරෝපීය රටවල් යුරෝපීය සංගමයේ සමාජිකයන් වුවද ඔවුන්ට යුරෝපීය සංගමයෙන් විශේෂ යමක් ලැබෙන්නේ නැත. මේ නිසාම චීන ආයෝජන නැගෙනහිර යුරෝපයට පැමිණීම හරහා නැගෙනහිර යුරෝපීය රටවලට බලපෑම් කරන බටහිර දේශපාලන දෘෂ්ටිය වෙනසක් වනු ඇතැයි බටහිර දේශපාලන යාන්ත්‍රණය බියට පත්වී තිබේ.
චීන ආයෝජන පිළිගැනීමට එක් වූ රටවල් 16න් 11ක්ම යුරෝපීය සංගමයට අයත් ඒවා වෙයි. හංගේරියානු අගමැතිවරයාගේ අදහස වන්නේ යුරෝපීය සංගමයෙන් ලැබෙන ආධාර තමන්ගේ රටවල කාර්යයන් කරගෙන යෑමට ප්‍රමාණවත් නොවන බවයි. මේ නිසා චීන ආයෝජන සම්බන්ධයෙන් නැගෙනහිර සහ මධ්‍යම යුරෝපය ඇඳී යාම නැවැත්විය නොහැකි වී ඇත. මේ අතර චීනයට විරුද්ධව යුරෝපීය සංගමය නිකුත් කරන නිවේදන සඳහා නැගෙනහිර සහ මධ්‍යම යුරෝපීය රටවල් එක් නොවන ප්රවණතාවක්ද ඇතිවෙමින් තිබේ. මේ නිසා බටහිර දේශපාලන යාන්ත්‍රණය යළිත් වතාවක් නැගෙනහිර යුරෝපය දිනා ගැනීමේ උත්සාහයක යෙදෙමින් සිටියි. එහෙත් චීනයට අවශ්‍ය වන්නේ ඇමෙරිකාව මෙන් තමන්ගේ වැරදි වසා ගැනීමට අනෙක් රටවල් පාවිච්චි කිරීම නොවේ. මෙය බටහිර දෘෂ්ටිකෝණයෙන් චීනය දෙස බලන විට පෙනන චිත්රයයි. එහෙත් චීනයේ ප්රමුඛ අරමුණ වෙළෙඳාමයි.
මේ අතර උතුරු කොරියානු ප්රශ්නය අරඹයා චීනය ක්‍රියා කරන ආකාරය විවේචනය කිරීමද මේ දිනවල බටහිර මාධ්‍ය දිගින් දිගටම සිදුකරමින් සිටියි. බටහිර මාධ්‍යවල තර්කය වන්නේ උතුරු කොරියාවට බලපෑම් කිරීමට චීනයට නොහැකි බවයි. ඒ හරහා චීනය ගෝලීය සුපිරි බලවතෙකු නොවන බව පෙන්වීමට බටහිර මාධ්‍ය උත්සාහ දරමින් සිටියි. කෙසේ වුවද චීනයට කිසිවෙකුට බලපෑම් කිරීමේ අවශ්‍යතාවක් නොමැත. ඔවුන් උතුරු කොරියාවට දන්වන්නේ සාමකාමීව සිටින ලෙසයි. එයට එක් හේතුවක් වන්නේ උතුරු කොරියාව සමග ඇමෙරිකාව යුද්ධයකට පැටලෙන්නේ නම් ඇමෙරිකාවේ බෝම්බ වැරදීම්වලින් චීන දේශ සීමාවටද වැටෙන්නට ඉඩ ඇති ඉතිහාසයක් ඇමෙරිකාවට තිබීම නිසාය. එසේම න්‍යෂ්ටික අවි සමග සෙල්ලම් කරන තරුණ උතුරු කොරියානු ජනාධිපතිවරයා මෙල්ල කිරීමට උත්සාහ කිරීමේ අවශ්‍යතාවක්ද චීනයට නැත. ඔහුගේ කාර්යය ඔහුට කරගෙන යෑමට ඉඩ දීම චීනයේ ක්‍රමය වී තිබේ.
සිම්බාබ්වේ රාජ්‍යයේ සිදු වූ පාලනයේ වෙනස පිටුපසද චීනය සිටින්නේ යැයි චෝදනා එල්ල වෙයි. නව ජනාධිපති ම්වන්ගග්වා චීනයට හිතවත් යැයිද හමුදාව මුගාබේ නිවාස අඩස්සියට ගැනීමට දින කිහිපයකට පෙර සිම්බාබ්වේ හමුදාපතිවරයා චීනයට ගිය බවද නැගෙන චෝදනාවයි. එහෙත් මේ ආකාරයට කුමන්ත්‍රණ කිරීමේ අවශ්‍යතාවක් චීනයට නැත. හේතුව අතීතයේ සිට මුගාබේ පාලනයට චීනයෙන් සහයෝගයක් ලැබුණු නිසාය. එහෙත් චීනයේ අපේක්ෂාව වන්නේ ශක්තිමත් දූෂණයෙන් තොර පාලනයක් ඕනෑම රටක බිහිවනු දැකීමයි. ඒ අනුව වර්තමාන සිම්බාබ්වේ පාලනය ශක්තිමත් වන්නේ නම් ඔවුන් දැනට සිම්බාබ්වේ හි ඇති සිදුකරන ආයෝජන තවත් ශක්තිමත් කරනු නියතය. බටහිර මාධ්‍යයට අවශ්‍යව තිබෙන්නේ තමන්ගේ රාමුවෙන් චීනය දෙස බැලීමට ලෝකය හුරු කිරීමටය. බටහිර රටවල් ලෝකය දිනා ගැනීමට සිදුකළ සියලු දේ චීනයද සිදු කරන්නේ යැයි උපකල්පනය කර ඔවුන් මේ කටයුත්ත සිදුකරයි. වඩාත් වැදගත් වන්නේ බටහිර මාධ්‍ය චීන පින්තූරය රාමු කරන බව දැනගෙන ඔවුන් කියවීමයි.