ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 'පළමුව ඇමෙරිකාව' සංකල්පය යටතේ ආරක්ෂාව සම්බන්ධයෙන් චීනය සම්බන්ධව තිබූ අදහස් පිළිබඳ චීනයේ විරෝධය එල්ල වී තිබේ. චීනය සහ රුසියාව ඇමෙරිකාවේ තරගකරුවන් බවත්, ඔවුන් ඇමෙරිකාවේ බලයට සහ බලපෑම්වලට අභියෝගයක් ලෙසත් එහි දක්වා ඇති අතර, ඇමෙරිකාවේ ආරක්ෂාවට සහ දියුණුවට මේ රටවල් බලපෑමක් විය හැකි බවද මෙහි දක්වා ඇත. මෙම ලිපිගොනුවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් චීනය දැඩි ප්‍රතිචාරයක් දක්වමින් සිටියි.
චීනය මේ සම්බන්ධයෙන් පවසනුයේ ඇමෙරිකාව %සීතල යුද්ධ^ මානසික මට්ටමකින් කටයුතු කරන බවයි. එසේම ලෝකයේ විශාලතම ආර්ථික රටවල් දෙක අතර සහයෝගයක් තිබිය යුතු බවත්, ලෝක සාමය ස්ථාවරත්වය මෙන්ම සංවර්ධනය සහ සමෘද්ධිය අත්කර ගැනීම සඳහා රටවල් දෙකම එක්ව කටයුතු කළ බවත් චීනය නිවේදනය කළේය. වේගවත් සංවර්ධනය සහ ලෝක ආර්ථික බලවතෙකු ලෙස චීනය ඉදිරියට පැමිණීමත් සමග ඇමෙරිකාව යම් සසලවීමකින් කටයුතු කරන බව පෙනෙන්නට තිබේ. තමන් කිසිදු රටක ආරක්ෂාවට හෝ ස්වාධීනත්වයට බලපෑමක් නොකරන බව චීනය නිරන්තරයෙන් පැවසුවද, ඇමෙරිකාව චීනය සම්බන්ධයෙන් සිටින්නේ සැකයකිනි. මේ නිසා චීනයේ ඕනෑම පියවරක් තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස දකින්නට චීනය හුරුව සිටියි.
මේ සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා නිවේදනයක් නිකුත් කළ චීනය වැඩිදුරටත් පවසා සිටියේ, තම රටේ උපායමාර්ගික කටයුතු සිතාමතා විනාශ කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය ගන්නා උත්සාහය වහාම නවතා දමන ලෙස ඉල්ලා සිටින බවයි.
%සීතල යුද්ධය^ වැනි යල්පැන ගිය මානසිකත්වයන්ගෙන් මිදී කටයුතු කරන ලෙසත්, එසේ නොවූවහොත් එය තම දෙපාර්ශ්වයට පමණක් නොව අනෙක් අයටද හානියක් විය හැකි බවත් චීනය දන්වා සිටියි. එසේම දෙපාර්ශ්වය අතර දෙපාර්ශ්වයටම වාසි සැලසෙන සහයෝගිතාවක් මගින් වඩාත් යහපත් අනාගතයක් දැකගත හැකි බවද චීනය පෙන්වා දෙයි.
'ලෝකයේ ප්‍රධාන රටවල් දෙකක් ලෙස චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇතැම් නොගැළපීම් තිබෙන්නට හැකියි. එවැනි නොගැළපීම් නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කර දෙපාර්ශ්වයටම ගෞරවාන්විතව ආකාරයෙන් විසඳා ගැනීමද වැදගත් වෙයි^ යනුවෙන් චීනය ඇමෙරිකාවට දන්වා සිටියේය. ඇමෙරිකාවේ අදහස උපන් ගෙයිම විනාශ කර දැමීමට චීනයට අවශ්‍ය වී තිබේ. මේ සතියේ චීන මාධ්‍ය පවා ඇමෙරිකාවේ උත්සාහය දැඩිව විවේචනය කළේය. මෙහිදී ඔවුන් මතු කිරීමට උත්සාහ කරන්නේ ඇමෙරිකාව තවමත් පරණ තාලයෙන් සිතන්නට කටයුතු කරන බවයි. ඇමෙරිකාවේ සිතිවිලි රටාව යල්පැන ගිය එකක් බවද නව ලෝක රටාව සහයෝගය බවද චීන මාධ්‍ය පෙන්වා දෙයි.
කෙසේ වුවද ඇමෙරිකාව චීනය සම්බන්ධයෙන් මෙවැනි අදහසකට පැමිණ ඇත්තේ ඇමෙරිකාවට තර්ජනයක් විය හැකි එකම රට චීනය බවට පත්වෙමින් තිබෙන නිසා බවද චීනයේ සාමාන්‍ය මතය වී තිබේ. කෙසේ වුවද ඇමෙරිකාවට දන්වන පණිවුඩය හරහා ලෝකයේ අනෙක් රටවලටද තමන් ඇමෙරිකාව වැනි යල්පිනූ මානසික තත්ත්වයන්ගේ නොමැති බව පෙන්වීමට චීනය උත්සාහ දරයි. මෙය චීන ආයෝජනයන් වැඩිිවෙමින් ඇති රටවලටද වැදගත් වන්නේ මෙම රටවලද මෙවැනි චින්තනයක් මතුවෙමින් පවතින නිසාය.
පසුගිය සතියේ ඉරිදා දිනයේදී චීන මනාල යුවළ 50ක් ශ්‍රී ලංකාවේදී විවාහ දිවියට ඇතුළත් වූහ. මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පැමිණෙන බවට පෙර දැනුම් දීම් කර තිබුණද, ඔවුහු දෙදෙනාම එයට සහභාගි නොවූහ. මෙය මෙම උත්සවය හරහා චීන ආකර්ෂණය වැඩිකර ගැනීමට යම් සැලසුමක් තිබුණේ නම්, එය යම් තරමකින් පළුඳු වූ අවස්ථාවක් විය. චීනයේ සිටින ශ්‍රී ලාංකික රාජ වංශයකට අයත් කුමාරිකාවකගේ පුත්‍රයෙකුගේ විවාහයද මේ සමග සිදුවීම නිසා චීන ජාතිකයන් රටේ ප්‍රධානීන්ගේ අවධානය මෙම උත්සවය සඳහා බලාපොරොත්තු වන්නට ඇත. එය නොලැබීම හරහා ඔවුන්ට ඉදිරියේදී ශ්‍රී ලංකාවේදී මෙවැනි උත්සව සංවිධානය කිරීම ගැන දෙගිඩියාවක් ඇති වූවාට සැකයක් නැත.
චීනය සමග ආර්ථික සහයෝගයකින් කටයුතු කරනවා නම් අවශ්‍ය වන්නේ දෙගිඩියාවකින් තොරව චීනය සමග කටයුතු කිරීමය. චීනය ඇමෙරිකාවට දන්වා සිටින්නේද හිතේ එකක් තබාගෙන තවත් එකක් නොකරන ලෙසයි. ඇස්බැස්ටෝස් තහනම සම්බන්ධයෙන් අතිවිශාල හඬක් නැගූ අපි, රුසියාවේ එක කෘමියෙකු ඉදිරියේ තහනම හකුළා ගන්නා හැටි මේ සතියේ දුටුවෙමු. නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් නැති අනාගත දැක්මක් නැති රටක් ලෙස වසර ගණනාවක් එක තැන පල්වීමේ ප්‍රතිඵලය ලෙස අපේ තේ මිලදී ගන්නා රටෙන් එන ඇස්බැස්ටෝස් නිෂ්පාදන අමුද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරන්නට බැරිව සිටිමු. දැන් ඇස්බස්ටෝස්වලින් පිළිකා හැඳුනත්, නැතත් අප ඉවසා සිටිය යුතුය. අප කුමන කරණම හෝ නිවැරදිව ගසා දියුණු ආර්ථිකයක් ඇති රටක් විය යුතු යැයි කියන්නේ මේ නිසාය. ඒ සඳහා මේ අවස්ථාවේ සිටින හොඳම සහකරු චීනය බව අමතක කළ යුතු නොවේ.