පසුගිය සතියේ මංගල සමරවීර පුවත්පත් සාකච්ඡාවක් කැඳවා තිබිණි. එහි පැමිණ සිටි වාර්තාකරුවෙකු විසින් අමාත්‍යවරයාට පැනයක් යොමු කරමින් 'ඔබ ගෝඨාභයට බිය වී' ඇත්දැයි ඇසීය. එම කාමරය තුළ සිටි සියලු දෙනාම අපේක්ෂා කරන ලද උත්තරය වූයේ මංගල හිටපු ආරක්ෂක ලේකම්වරයාට බිය නොවන්නේ ඇයි දැයි කියා අසන මංගලගේ ජය ඝෝෂාවකි.
නමුත් කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි 'අපොයි ඔව්, මම ගෝඨාභයට පුදුම බයයි' කියා ප්‍රතිචාර දැක්වුවේය. එහිදී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කාරණා කිහිපයක් ගැන ලියුම්කරුගේද දැඩි එකඟතාවක් තිබේ. සැබැවින්ම ආණ්ඩුව දුර්වල වන සෑම අවස්ථාවකම මා හටද පරාණ බයක් දැනේ. මෙම ආණ්ඩුව පරාජය වුවහොත් මා පැහැරගෙන මරා දමනු ඇති බවටත්, ඉන් පසු මාගේ ශරීරය මුහුදු පතුලේ සදා කාලයට සැඟවීමට හෝ අරලියගහ මන්දිරයේ ආරක්ෂක නිවහනක පවත්වාගෙන යන වධකාගරයකදී සිරුර කෑලිවලට කපා අධි ශීතකරණයක තබා මෝරුන්ට කෑමට දෙනු ඇති බවටත්, එසේත් නැති නම් බියගම මල්වානේ වත්තකදී සිරුර අතුරුදන් කරනු ඇති බවටත් මගේ නෑහිතමිතුරෝ කැට තබා කියති.
එබැවින් මම ගෝඨාභයට පරාණ බය වෙමි. කෙසේ නමුත් ජනවාරි 08 වැනිදා ලංකාවේ සමාජය වෙලා ගෙන තිබු අඳුරු භීෂණය පරාජය කළ යුතු යැයි මෙරට සිවිල් බුද්ධිමතුන් මෙන්ම බහුතර ජනතාවක් තීන්දු කරන ලද්දේ හොරකම, සමාජ අසාධාරණය, අසීලාචාර බවට අමතරව හිටපු ආරක්ෂක ලේකම්වරයා පවත්වා ගෙන ගිය භීෂණකාරී වටපිටාවය. එමගින් මේ රටේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම්වල විශාල බිඳවැටීමක් සිදු වූ අතර, සමාජයක් හැටියට රටේ සියලු දෙනා අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබිණි. එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් අනුගමනය කරන ලද්දේ උගන්ඩාවේ ඉඩි අමීන් භාවිත කරන ලද ක්රමවේදයයි.
ඉඩි අමීන්ද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නමින් රටේ සියලු අකටයුතුකම්වල යෙදිණි. ඒවා නගර ඉදිකිරීම, වෙදහෙදකම් කිරීම, දේපොළ අත්පත් කර ගැනීමේ සිට මිනිසුන් මරා දැමීම දක්වා වේ. ගෝඨාභයද කටයුතු කරන ලද්දේ එසේය. එය කෙතරම් දුරදිග ගියේද යත්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යනුවෙන් සඳහන් කාඩ්බෝඩ් කැබැල්ලකට දේපොළක් පවරා ගැනීම, වාහනය පාරේ වැරදි පැත්තෙන් ධාවනය කිරීම හා වෙනත් ඕනෑම අකටයුතු කමක් කිරීමට හැකියාවක් තිබිණි.
මේ සම්බන්ධයෙන් මා හට හොඳ අත්දැකීමක් තිබේ. 2014 ජුනි මාසයේ දිනක් මා ගමන් කරමින් සිටි රථය රාජගිරිය හන්දියේදී තවත් කැබ් රථයක ගැටිණි. එහි වරද මාගේ මෙන්ම කැබ් රථයේ රියදුරගේද වේ. මන්ද ඔහු අපරීක්ෂාකාරී ලෙස හැරවීම කළේය. පසුව වාහනයෙන් බැස බැලීමේදී එහි ඉදිරිපස පෙට්ටියකින් ගලවාගත් කාඩ්බෝඩ් කැබැල්ලක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යැයි ලියා තිබිණි. එම රථයෙන් බැස පැමිණි රියදුරු ඔහුගේ දුර්වර්ණ දිළිඳු මුහුණට දරුණු බවක් ආරූඪ කොටගෙන මේක ආරක්ෂක අමාත්‍යාංශයේ, දැන් එ්කේ වැඩකට යන ගමන් කියා තදින් බැණවැදීය.
එම කාලයේ රාජපක්ෂවරු ගෙදර යවන්නට සැලසුම් සදමින් සිටි අතර, අපේ වත්තේ වැඩ කරන සරත් වැනි මිනිහෙකු මට තර්ජනාත්මකව ඇමතීමත්, එම බලය කාඩ්බෝඩ් කැබැල්ලක අකුරු ටිකකින් ලැබීමත් නිසාවෙන් මගේ ආඩම්බරය උන්නා මළා නොතේරෙන තත්ත්වයකට මාව පත් කළේය. ඔහුට මා දැක්වූ ප්‍රතිචාරය කෙතරම් දරුණු වූයේද යත් ඔහු වාහනය එතැන දමා වැලිකඩ පොලීසියට දිවගියේ මා එල්ලුම් ගස් යවන බව කියමිනි. මටද එවිට බියක් දැනිණි. එවකට ජනාධිපති රාජපක්ෂ සමීපයෙහි ලේකම්වරයෙකු වන මගේ ළඟම මිතුරෙකුට දුරකථන ඇමතුමක් ගෙන තත්ත්වය පැහැදිලි කර අවධානයෙන් සිටින ලෙස දැනුම් දුන්නේ, සුදුවෑන් එකකින් අතුරුදන් නොවී බේරුණොත් ගම්පහ සිට කටුනායකට පයින් හෝ ගොස් නවසීලන්තයට යා හැකි තත්ත්වයක් තිබූ බැවිනි.
නමුත් වැලිකඩ පොලීසියේ ඉහළ තනතුරුවල සිටි මාගේ මිතුරන්ගේ දුරකථන ඇමතුම් හා වෙනත් බලපෑම් නිසා හෙළි වූයේ එම වාහනය ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට අයත් එකක් බවයි. එම ආයතනය එවකට අයත්ව තිබුණේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අමාත්‍යාංශයටය.
කෙසේ වෙතත් තාජුඩීන් ඝාතනය, කරුණාට ගමන් බලපත්‍රයක් ව්‍යාජව හැදීම, ලසන්ත මරා දැමීම, කීත් නොයාර්ට පහර දීම, වැලිකඩ සිරකරුවන් ඝාතනය, ප්‍රගීත් පැහැරගෙන ගොස් මරාදැමීම, ජලය ඉල්ලූ වැලිවේරියේ මිනිසුන් මරා දැමීම, රෝෂන් චානක මරා දැමීම, රට පුරා වැරදි කළ තරුණයන් සිය ගණනක් නඩු නැතිව මරා දැමීම ඇතුළු ඝාතන දහස් ගණනක වගකීම ගෝඨාභයට එල්ල වී තිබේ. මංගල කියන්නාක් මෙන් 'බුදු අම්මෝ අපි නම් ගෝඨාභයට පරාණ බයයි'.
අවසාන වශයෙන් අප හිටපු ආරක්ෂක ලේකම්වරයාට බය වන ප්‍රධාන කාරණය නම් ඔහු වටා සිටින පිරිසයි. එම පිරිස සම්පූර්ණයෙන් පාහේ හමුදාවෙන් ඉවත් වූ සොල්දාදුවන්ගෙන් පිරී තිබේ. ලෝක දේශපාලනයේදී නීත්‍යනුකූල යුද හමුදාවලින් ඉවත් වූ පිරිස එක්තරා ආකාරයකට 'ලුම්පන්වරු' ලෙස හඳුන්වයි. මන්දයත් ඔවුන් පුහුණුව ලබා ඇත්තේ වෙනම ආකාරයකට කටයුතු කිරීමටය. එම නිසා ඔවුන් ජනතාවගේ පරමාධිපත්‍ය දැරීමට නුසුදුසු කොටසක් ලෙස ලෝක සිවිල් ශීලාචාර සමාජය විශ්වාස කරයි. මෙම කාරණා නිසා 'අපි නම් ගෝඨාභයට පරාණ බයයි'.