ගුරුවරුන් දරුවන්ට ලබාදිය යුත්තේ දැනුමට අමතරව ආකල්ප හා කුසලතාවන් වැඩිදියුණු කිරීමය. නමුත් වර්තමාන ගුරුවරුන් තුළ දරුවන්ගේ ආකල්ප හා කුලසතාවන් වර්ධනය කිරීමට තරම් හැකියාවක් තිබේද යන්න හා ඔවුන් රටතොට තොරතුරු පිළිබඳ යාවත්කාලීනද යන්න අප ඉදිරියේ ඇති ගැටලුවකි.
පසුගිය කාලයේදී ගුරුවරුන් දරුවන් කෙරෙහි දැක්වූ යල්පැනගිය මිත්‍යා ආකල්පයන් දෙකක් මෙහිදී උදාහරණ ලෙස ගත හැකිය. කුලියාපිටියේ මවකට HIV ආසාදනය වී ඇති බව දැනගත් පසුව දරුවා පාසලකට බාර නොගත් අතර, ආසන්නතම සිදුවීම ලෙස කැකිරාවේ දැරියක උදෑසන ආහාරවේල නොගෙන පැමිණ වමනය දැමූ පසු එම පාසලේ විදුහල්පතිනිය ඇය ගැබ්ගෙන ඇතැයි උපකල්පනය කර පාසලින් එළවා දැමීමය. මෙම අවස්ථා දෙකෙහිම ගුරුවරුන් හැසිරුණේ යල්පැනගිය අදහස්වලින් යුක්තව වගකීම් විරහිත ලෙසිනි.
ගුරුවරයෙකු යනු වක්‍රාකාරයෙන් ගතහොත් ළමා මනෝ චිකිත්සකයෙකි. ගුරුවරුන් සඳහා ළමා මනෝ විද්‍යාව පිළිබඳ විෂයයක් පවා හැදෑරීමට අවස්ථාව උදා කරදී ඇත. නමුත් මෙලෙස උගත් කිසිදු ශාස්ත්‍රයක් ඔවුන් උක්ත අවස්ථාවලදී භාවිතයට ගෙන නොමැත.
ගුරුවරුන් විසින් පාසල් දරුවන්ට සලකනු ලබන්නේ, පිටස්තර දරුවන් ලෙසය. නමුත් ගුරුවරයෙකු තමන්ගේ ශිෂ්‍යයන්ට සැලකිය යුත්තේ තමුන්ගේම දරුවන් ලෙසිනි. නිවසට පසුව දරුවන්ගේ අනෙක් ආරක්ෂිතම ස්ථානය පාසලය. කැකිරාව විද්‍යාලයේ විදුහල්පතිනියගේ දරුවාට මෙසේ වමනය ගියේ නම්, ඇයගේ හැසිරීම මීට වඩා වෙනස් වනු ඇත. දෙමවුපියන්ට 'HIV' ආසාදනය වී ඇතැයි කියා පාසල්වලට ඇතුළත් කර නොගත් දරුවා එම විද්‍යාලයේම විදුහල්පති හෝ ගුරු මණ්ඩලයේ අයකුගේ දරුවෙකු වුයේ නම්ද, තත්ත්වය වෙනස් වනු ඇත. ගුරුවරුන් ශිෂ්‍යයන්ට තමන්ගේම දරුවන් ලෙස සලකා කටයුතු කරන්නේ නම්, තත්ත්වය මීට වඩා යහපත් වනු ඇත.
උතුරු මැද පළාතේ අඩු වයසින් ගැබ්ගන්නා දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මේවා දරුවන් දැන සිදුවන දේ නොවේ, බලහත්කාරකමින් හා නොදැනුවත්කමින් සිදුවන දෙයකි. නමුත් ඔවුන්ව දැනුවත් කිරීමට, ඔවුන්ට උපදේශන දීමට, ඔවුන්ව දිරිමත් කිරීමට, අධ්‍යාපනය බාධාවකින් තොරව කටයුතු කිරීමට ගුරුවරුන්ගේ උදව් හිමිවනෙවාද? ගුරුවරුන් අද බලනුයේ දරුවන් ගැන නොව තමන්ගේ පාසලේ කීර්තිනාමය පිළිබඳ පමණකි.
යම් හෙයකින් දරුවෙකු ගැබ්ගෙන ඇත්නම්, ඇයගේ අධ්‍යාපනයට තිත තැබිය යුතුද? අධ්‍යාපනය ලැබීම විශ්වීය අයිතිවාසිකමකි (Universal Right). නිදසුනක් ලෙස මරණීය දණ්ඩනය හිමි වූ සිරකරුවෙකු වර්තමානයේ බන්ධනාගාරයේ සිට තම ආචාර්ය උපාධිය හදාරයි. මේ සඳහා බන්ධනාගාර බලධාරීහු සියලු දෙනා එම සිරකරුවාගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සලසති. විශේෂයෙන්ම අඩු වයසින් ගැබ්ගත් දරුවන් කීදෙනෙකු පාසල්වලින් නෙරපන්නට ඇතිද?, එසේ බලහත්කාරකමකින් හෝ නොදැනුවත්කමකින් ගැබ්ගත හොත් පාසලෙන් නෙරපා දැමීමට විදුහල්පතිවරයාට ඇති අයිතිය කුමක්ද?
පොළොන්නරුවේ මා මිත්‍ර ළමා මනෝ වෛද්‍යවරයෙකු පැවසුයේ &මේ පැත්තෙ දරුවන්ට අතවරයක් සිදුවුණත් ඒ අය ඉස්කෝලෙන් දැන ගනියි කියල උපදේශන සේවාවකට එන්නේ නැහැ. මෙවැනි සිද්ධියක් වුණාම මානසිකව වැටෙන දරුවා ගොඩගන්න උපදේශන අවශ්‍යයි. ඉස්කෝලෙට බය හින්දා එන්නෙ නැහැ* යනුවෙනි.
පාසල යනු බිය සිතෙන තැනක් විය යුතු නැත. විය යුත්තේ දයාව, කරුණාව වපුරන ස්ථානයක් වීමය. නමුත් පාසලේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට උත්සුක ෙවනවා මිස දරුවන්ට, විශේෂයෙන්ම වින්දිතයන් වන දරුවන් ගැන සොයා නොබැලීමට තරම් වර්තමාන බොහෝ විදුහල්පතිවරුන් කුහක වී ඇත.
බොහෝ පාසල් දරුවෝ උදෑසන ආහාරවේල නොගනිති. 'ළඟම පාසල හොඳම පාසල^ කරන්න උත්සාහ කළද, ජනප්‍රිය පාසල්වලටම දරුවන් ඇතුළත් කිරීමට දෙමවුපියෝ පොරකති. මෙම දරුවන් ජනප්‍රිය පාසල්වලට යන්නේ බොහෝ දුරක් ගෙවාගෙනය. උදේ පාන්දරින් පාසල් යන්නට තම නිවසින් පිටත් වේ. උදෑසන ආහාර ගැනීමට වේලාවක් දරුවන්ට නොමැත. අධ්‍යාපන අමාත්‍යාංශයට මේ පිළිබඳ අවධානය යොමුකර උදෑසන පාසල් වේලාවේදී උදෑසන ආහාරවේල ලබාදීමට කාලයක් වෙන්කිරීමට හැකි නම් කාලෝචිතය.
එකල ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට ලැබුණු වාර්තාවක දරුවන් පාසල්වලට පැමිණෙන්නේ දවසක් හැර දවසක් බවට සඳහන්ව තිබිණි. ඊට හේතුව වී තිබුණේ නිල ඇඳුම්වල අඩුපාඩුවය. පාසල් නිල ඇඳුම් දරුවන්ට හිමිවන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් පාසල් දරුවන් ගැන සොයා බැලීම හේතුවෙනි. එමෙන්ම උදෑසන කිරි වීදුරුවක් ලබාදීමටද හෙතෙම අමතක නොකළේය. මෙයට හේතුව ප්‍රේමදාස ජනාධිපතිවරයා තමන්ගේ ජනතාවගේ හැඟීම්වලට සංවේදී වීමය.
අධ්‍යාපන අමාත්‍ය අකිල අධ්‍යාපන ක්ෂේත්රයට බොහෝ දේවල් කිරීමට කතා කරයි. ඔහුගේ ආකල්ප හොඳය. නමුත් ප්රශ්නය නම් මේවායෙහි වැඩවාසය කරන නිලධාරීන් හා බොහෝ ගුරුවරුන්ගේ තිබෙන ආකල්පමය ගැටලුය.
දරුවන්ගේ පෝෂණය ගැන සොයා බැලීමට අකිල කළ යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇති පෝෂණ හා උපදේශන අංශය සක්‍රීය කිරීමය. මෙම අංශය තිබියදී පසුගිය ජාතික පාසල් ක්‍රීඩා උලෙළේදී දරුවන්ට ලබාදුන් ආහාර පැකට්ටුව විසි කරන්නට එම දරුවන්ට සිදුවිය. එබැවින් දරුවන්ට ඍජුව බලපෑම් ඇති මෙවැනි අංශ සකර්මණ්‍ය කළ යුතුය. එමෙන්ම යල්පැනගිය අදහස් ඇති ගුරුවරුන්ව නව දැනුම හා තාක්ෂණික භාවිතය නව තොරතුරුවලින් යාවත්කාලීන කර සන්නද්ධ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය. බහුතර ගුරුවරුන්ට සමාජයේ නව දැනුම, තොරතුරු ගැන දැනුමක් නොමැත.
දරුවන්ගේ කුසලතා, දැනුම හා ආකල්ප වර්ධනය කිරීම පිළිබඳ සිතා ගුරුවරුන්ගේ ආකල්ප, දැනුම හා කුසලතා වර්ධනය කිරීමට හා ඔවුන් යාවත්කාලීන කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ‘ය වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. එමෙන්ම පාසල්වල කීර්තිනාමය ගැන සිතා කටයුතු කරනවාට වඩා කළ යුත්තේ දරුවන්ට දයාව වපුරන සුරක්ෂිත තැනක් බවට පාසල පත්කිරීමය.