ගැරිල්ල ගෘහණියගේ රාජකාරියක්ය. ගැරිල්ල ගැන කතා කරන විට මුලින්ම මතක් වෙන්නේ හාල් ගැරිල්ලය. ඉස්සර නම් ගෘහණිය කොරහ පාවිච්චි කර හාල් ගැරුවාය. හාල් ගරන විට හොඳ හාල් ටික කොරහට වැටී ගල් සහ අපද්‍රව්‍ය නෑඹිලියේ ඉතුරු වෙනවාය. මෙලෙස හාල් ගැරිල්ල හොඳින් නරක වෙන් කිරීමට දරන උත්සාහයක් බව කිව යුතුය. හොඳ හාල් කොරහට වැටී නෑඹිලියේ ඉතිරි වන අතර නරක හාල් ඉවතට දැමීම ගැරිල්ලේදී සිදුවෙනවාය. හාල් පමණක් නොව කුරහන්, මෙනේරි ආදී බොහෝ ධාන්‍ය වර්ග පිරිසුදු කිරීමට ගැරිල්ලෙන් පුළුවන්ය.
ඉස්සර හැම ගෙදරකම ගැරුවත් දැන් නම් ගෙවල්වල නෑඹිලියක්, කොරහක් හොයා ගන්නට නැත්තේ කුස්සියේ ගැරිල්ල නැවතිලා තිබෙන හින්දාය. අද හැදෙන ගෑනු දරුවන්ට දැඟලිල්ල තිබ්බට ගැරිල්ල දන්නේ නැත්තේය. ආදී කාලයේ වගේ දැන් නම් කිසිවක් ගැරිල්ලට අවශ්‍ය නැත්තේ සහල් මෝල් හිමියන් හාල් සෝදා - ගරා - පැකට් කර තිබෙන නිසාය. අද අම්මලාට තියෙන්නේ ගැරිල්ලට දුක් නොවිඳ ඒවා පිසින්නට ගන්නටය. සෙසු ධාන්‍ය සහ කුළුබඩු වර්ගද එහෙමම පැකට්වල ඇති නිසා ගරන්නේ නැතුව පාවිච්චි කරන්නට පුළුවන්ය.
ගැරිල්ල ගෙවල්වලින් අතුරුදන් වුණත් ආච්චිට හාල් ගැරිල්ල නම් අමතක නොවන ගැරිල්ලක්ය. ආච්චිට හාල් ගරන්නට යාම බොහොම නරක විපාක විඳින්නට සිදු වෙන්නක්ය. ඒ හින්දා කාට හාල් ගැරිල්ලට ගියත් ආච්චිට හාල් ගැරිල්ල නම් නරක බව සිතාගත යුතුය.
හාල් ගැරිල්ලට වැඩිය ඉක්මනින් පොහොසත් වෙන්න ලැබෙන්නේ මැණික් ගැරිල්ලෙන්ය. ඒ හින්දා ආච්චිට හාල් ගරන්නට යන්නේ නැතුව මැණික් ගැරිල්ලට යන එක හොඳය. නීතියට එකඟව මැණික් ගරන්න නම් ආණ්ඩුවෙන් බලපත්‍රයක් ගන්නට ඕනෑය. එහෙත් වැඩිදෙනා කරන්නේ කිසිම අවසරයක් නැතුව හොරෙන් මැණික් ගැරිල්ලය. මැණික් පතල් බලන්න එන ආණ්ඩුවේ මහත්තුන්ට කීයක් හරි අතමිට මෙලෙව්වාම කිසි බය සැකක් නැතුව මැණික් ගරන්නට පුළුවන්ය. අද බොහොම දේශපාලුවන්, ලොකු ලොක්කන් ආණ්ඩුවේ ඉඩම්වල මැණික් ගැරිල්ලෙන් කෝටිපතියන් වෙලා ඉන්නවාය. ඒ අය ගෝල බාලයන් දමා මහපාරවල් මැද බය නැතුව මැණික් ගරන්නේ බඩුත් නඩුත් හාමුදුරුවන්ගේ නිසාය.
මැණික් ගරන අය හොඳ මැණිකක් ලැබුණාම ඒක කොහොමහරි හොරෙන් පන්නා ගන්නට බලනවාය. සමහරු ගැරිල්ලෙන් ලැබෙන මැණික කාටත් හොරා ගිල දමනවාය. එහෙම නැති නම් තුවාලයක් කරගෙන මැණික ඒකට තියලා බැඳගෙන තුවාලය පෙන්වා ගැරිල්ල නවත්වා ගොඩ එනවාය. සමහරු කොච්චර ගැරුවත් මැණික්වලින් හම්බ කරන්නේ මැණික් මුදලාලිලාය. දුක් විඳලා ගරන මිනිහාට සොච්චමක් දීලා මැණික් ගන්න මුදලාලි කෝටි ප්‍ර‘කෝටි ගණන්වලට මැණික විකුණලා සල්ලි ගරා ගන්නවාය.
මැණික් ඉල්ලම් ගරන්නේ හාල් ගරනවා වගේ නෑඹිලියෙන් නොවේය. මැණික් ගරන්නේ ගැරුම් කූඩවලින්ය. හාල් ගැරිල්ලේදී නරක ඉතුරු වී හොඳ දේ ඉවත්වෙන නමුත් මැණික් ගැරිල්ල එහි අනෙක් පැත්තය. මැණික් ගැරිල්ලේදී කූඩයේ මැණික් ඉතිරිවන අතර පස් සේදිලා යනවාය.
ගැරිල්ල ගැන ටවුමේ බොහෝ දෙනා කතා කරන්නේ ගරානා පාරක් දානවා කියලාය. මේ විදියට ගරානා පාරවලින් මැණික් ගැරිල්ලට වැඩිය ඉක්මනින් පොහොසත් වෙන්නට පුළුවන්ය. සමහර අය පුරුදු වෙලා ඉන්නේ අත යට ගැරිල්ලටය. අත යට ගැරිල්ලට පුරුදු වුණාම හම්බෙන ඕනෑ කෙනෙකු ගැරිල්ලට ගන්නවාය. අද වැඩියෙන්ම ලොකු ලොක්කන් පොහොසත් වෙලා ඉන්නේ මැණික් ගැරිල්ලෙන් නොව අත යට ගැරිල්ලෙන්ය.
ආණ්ඩුවේ ඉඩම්වලින් බිම් කට්ටි දෙන බවට පොරොන්දු වෙලා කරන මුදල් ගැරිල්ලක් පසුගියදා ආරංචි වුණේය. අද ප්‍රබල දේශපාලුවෝ රක්ෂිත බන්ධනාගාරවල බිම් කට්ටි විකුණලා මුදල් ගරනවාය. ඒ වගේම වනාන්තරවල වටිනා ගස් කපලා මුදල් ගරන අය අල්ලන්න අමාරු ඒ ගොල්ලෝ ආණ්ඩුවේ ඉහළ තානාන්තර දරන හින්දාය. අලුතෙන් තනන සුපර් මාර්කට්වල කඩ කාමරයක් පෙන්වා මුදල් ගරන අයද ඉන්නවාය.
ඉතාලියට යවන බව කියා රස්සාවලින් ගරන අය මෙන්ම ආණ්ඩුවේ රස්සා දෙන බව කියා රස්සාවලින් ගරන අය මෙන්ම ආණ්ඩුවේ රස්සා දෙන බව කියලා මුදල් ගරන දේශපාලුවන්ද අගේට වැජඹෙනවාය.
වඩාත්ම වාසි ලැබෙන්නේ මත්කුඩුවලින් කරන ගැරිල්ලටය. මත්කුඩු නීති තදවන තරමට ඒවායින් කරන ගැරිලි වැඩි වෙනවාය. පිටරටවලින් එන මත්කුඩු වර්ග බෙදාහැරීම නිසා අපේ රට මත්කුඩු ගැරිලිවලින් ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් වෙලා තියෙනවාය. රටේ මත්පැන් මිල වැඩිවෙන විට හොර සුරාවලින් කරන ගැරිල්ල ඉහළ යනවාය. ආණ්ඩුව අරක්කුවලින් ගරන අතර කසිප්පු මුදලාලිලාද කසිප්පු විකුණලා ජයටම ගරනවාය. අරක්කුවලින් ඇති තරම් ගරන ගමන් ආණ්ඩුව කියන්නේ ළඟදීම මත්පැන් ආදායම බජට්ටුවෙන් ඉවත් කරන බවය.
ගැරිලි අතර වැඩියෙන්ම ප්‍රසිද්ධ කොමිස් ගැරිල්ලය. රුපියල් සීය දෙසීයේ පගා ගැහිල්ලට පොඩි එකා මහඋළුගෙදර ගියත් කොමිස් ගැරිල්ල පුරුදු වෙච්ච ලොකු එකා බාධාවක් නැතිව දිගටම වැඩේ කරගෙන යනවාය. පාසල්වලට අලුතෙන් ළමයි ඇතුළත් කිරීම විදුහල්පතිලාට ගැරිල්ලට හොඳ මාර්ගයක් වෙලාය. කොච්චර නීති දැම්මත් ඒවායින් රිංගලා ගරන්නට ඒ ගොල්ලන් හොඳට දන්නවාය.
මේ ඊයේ පෙරේදා එළිදරව් වූ අලුත්ම ගැරිල්ල බැඳුම්කර ගැරිල්ලය. බැඳුම්කරය කියන්නේ මොකක්ද කියලා අහලාවත් නැතිව සිටි ඡන්දදාසලා මේ අලුත් ගැරිල්ල හින්දා දැන්නම් බැඳුම්කර ගැන නොදන්නා දෙයක් නැත්තේය. යහපාලන ආණ්ඩුවෙන් හඳුන්වා දුන් මෙම ගැරිල්ල එච්චර මහන්සි නොවී සීත කාමරවල වාඩිවී කඩදාසි සෙල්ලම්වලින් කරන්න පුළුවන් එකක්ය. මේ ගැරිල්ලට සම්බන්ධ වූ අය අපේ නීතිවලට බය නැත්තේ ඒ අය දේශපාලුවන්ගේ ගජමිතුරන් නිසාය.