ගැටිල් අඩුවෙන තරමට හොඳය. එයට හේතුව ගැටිලි වැඩිවෙන තරමට ගැටලු දුරදිග යන නිසාය. කාගේවත් සමග ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් එය දාහෙන් සම්පතකි. ඒත් සමහර දෙනා කල්පනා කරන්නේ ගැටිලි වැඩි වන තරමට හොඳ බවය. ඒ නිසා හොස්ස අගින් මැස්ස යන විටත් කවුරුන් හෝ සමග ගැටිල්ලක් ඇතිකර ගන්න උත්සාහ කරනවාය. ඇතැමුන් උත්සාහ කරන්නේ ගැටිල්ලක් හදාගෙන තමාගේ වීරකම ප්‍රදර්ශනය කරන්නටය. බොහෝවිට දුර්වලයෙකු සමග ගැටිල්ලක් හදාගන්නේ පහසුවෙන් ජයගන්න පුළුවන් බව දන්න නිසාය. එහෙම නෝන්ජල් කෙනෙකු සමග ගැටිලි ඇතිකරගෙන පුහු වීරයන් වෙන්න දඟලන අය හයිකාරයකු සමග ගැටිලි හදාගන්න ගිය විට අමාරුවේ වැටෙනවාය.
අද බොහෝදෙනා පුරුදු වී සිටින්නේ අනවශ්‍ය ගැටිලි ඇතිකර ගෙන ප්‍රශ්න දුරදිග යවන්නටය. ඒ හින්දා සාමයෙන් විසඳා ගත හැකි ප්‍රශ්නවලදීද ගැටිලි හදාගන්නට උත්සාහ කරනවාය.
සමහරුන් පවසන්නේ ගැටිල්ලක් නැති ජීවිතයක කිසිම ගතියක් නැති බවය. ජීවිතය නැවුම් වන්නේ ගැටිලිවලට මුහුණ දුන් විට යැයි කියන අය ඉන්නවාය. ගැටිල්ලකට විසඳුමක් ඇත්තේ තවත් එවැනිම ගැටිල්ලකින් යැයි සිතන අය අද වැඩි වෙලාය. ඒ නිසා ගැටලුවකදී ගැටිල්ලක් නැතුව ප්‍රශ්න විසඳාගන්නට ඒ අය දන්නේ නැත්තේය. ඇතැම් අය ගැටෙන්නේ සිරුරෙන්ය. සිරුරෙන් ගැටෙන විට ශක්තිවන්ත සිරුරක් ඇති අය දුර්වලතා පරදා ජය ලබනවාය. මෙයට කියන්නේ ඇගේ හයියට ගැටෙනවා කියලාය.
ඒත් මත ගැටිල්ල, සිරුරු ගැටිල්ලට වඩා බරපතළය. එකට සිටිය යුතු අය මත ගැටිලි නිසා විරසක වෙනවාය. අඹු සැමියන්, දූ දරුවන්, දෙමවුපියන් විරසක වන්නේ මේ මත ගැටිල්ල හින්දාය. දෙපාර්ශ්වයම එක මතයකට එනවා නම් එතන ගැටිලි ඇතිවන්නේ නැත්තේය. එහෙත් දෙපැත්තම එලෙස එක මතකයකට ගැනීම අපහසු වන තරමට ගැටිලිද දුරදිග යනවාය. මේ මත ගැටිල්ල නිසා සමහර පවුල් කඩා බිඳ වැටෙනවාය. බිරිඳගේ මතය සැමියා සමගද, සැමියාගේ මතය බිරිඳ සමගද ගැටෙන විට පවුලට කණකොකා හඬනවාය. පෙම්කරන කාලයේ බලාපොරොත්තු වන්නේ කිසිම ගැටිල්ලක් නැති සුන්දර ලෝකයක්ය. ඒත් ඒ සුන්දර ලෝකය මායාවක් බව ඔප්පු වෙන්නේ විවාහ ජීවිතයේ බර වැඩි වී ගැටලු ඇතිවන විටය. ගන්නා පඩිය ජීවත්වන්න මදිවෙන විට දරුවන් වෙනුවෙන් වියදම් කරන සල්ලි බාගෙ අඩුපාඩු වන විට පවුල්වල ගැටිලි ඇතිවෙනවාය. මෙම ගැටලු මුලදී විසඳාගෙන දුරදිග යන්න ඉඩ හැරියහොත් පවුල් අවුල් වී ගැටිලිවලට සහනය ඉල්ලා උසාවිවලට පවා ගොඩවෙන්න සිද්ධවෙනවාය.
පවුල්වල දූ දරුවන් උස්මහත් වෙන විට ගැටිලි දුරදිග යන්නේ දෙමවුපියන්ගේ අණසකට යටත්ව සිටින්නට දරුවන් අකමැති වෙන නිසාය. මේ පිළිබඳව දෙමවුපියන් වගකීමෙන් කටයුතු කළහොත් මෙම ගැටලු විසඳාගන්නට පුළුවන්ය. මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහබාහු නාටකය තුළින් උත්සාහ කර ඇත්තේ පියපුතු ගැටුම් නිරූපණය කිරීමටය. පුතා වැඩුණු පසු පියාගේ අත්අඩංගුවේ නොසිට අලුත් ලොවක් කරා යාමට උත්සාහ කිරීම මෙම ගැටිල්ලට හේතු විය. එහිදී පුතා පියා මරා තම නිදහස රැක ගැනීමෙන් මෙම ගැටිල්ල නිමාවට පත්විය. මෙම නාට්‍ය‘යෙන් සමාජයට දෙන පණිවුඩය වන්නේ දෙමාපියන් තම දරුවන් සැමදාම තමා සමග රඳවා ගන්නට යාම මෙලෙස ගැටිලි මෝරා යාමට හේතුවන බවයි. මහමග සිදුවන වාහන ගැටිලි නිසා සිදුවන අනතුරුවලින් බොහෝ දෙනෙක් මිය යනවාය. දුම්රිය ගැටිල්ලෙන් සිදුවන ජීවිත විනාශය අති මහත්ය.
ගුරුගෝල ගැටිල්ල අනාදිමත් කාලයක සිට පැවත එන්නේය. ගුරවරයා සමග ගැටුම් ඇතිකර ගෙන ඉගෙනීම කඩාකප්පල් කරගත් සිසුන් එදා මෙන්ම අදද සිටිනවාය. අද ඇතැම් පාසල්වල ගුරු-සිසුන් අතර ඇතිවන ගැටිලි නිරාකරණය කර ගැනීමට පොලීසියට මෙන්ම උසාවිවලටද යන්නට සිදුවෙනවාය. දෙපාර්ශ්වය එකිනෙකාට අවශ්‍ය අවස්ථාවල නම්‍යශීලී වුවහොත් මේ ගැටුම් නිරාකරණය කරගන්න පහසු වෙනවාය. ගුත්තිල-මූසිල ගැටුමද, නිර්මාණය වූයේ දෙපාර්ශ්වයම එකිනෙකා අභිභවා යාමට උත්සාහ කළ නිසාය. අන්තිමට ඒ ගැටිල්ල නවතා ගුරුවරයාට ජය ලබාදෙන්නට ශක්‍රයාටද මැදිහත් වෙන්න සිදුවිය. ජය පරාජය දරාගන්න බැරි වූ විට කෙළිබිමේදී ගැටිලි අැතිවෙනවාය. ඇතැම්විට මෙම ගැටිලි මෝරා ගොස් ගහමරා ගැනීමෙන්ද කෙළවර වෙනවාය.
අසල්වැසියන් සමග ඇතිවන ගැටීම්ද දුරදිග ගොස් මහ අමාරුවක වැටෙනවාය. සහෝදර සහෝදරියන් අතර දේපළවලට ඇතිවන ගැටිලි බොහෝදුරට පැතිරෙනවාය. ඉඩමේ මායිමට පැලඉන්නට අසල්වැසියන් සමගද ඇතිවන ගැටිලි නිසා ජීවිත අහිමි වන අවස්ථාද තිබෙනවාය. හැමදාම ජීවත්වෙන්නට පුළුවන් යැයි සිතාගෙන සිටීම මෙම ගැටිලිවලට ප්‍රධාන හේතුව වන්නේය. විදුලිය කෙටීම ඇතිවන්නේ ධන හා ඍණ ආරෝපිත වලාකුළු දෙකක් එකට ගැටිල්ල නිසාය.
දේශපාලුවන් අතර ගැටිලි ඇතිවන්නේ පාර්ලිමේන්තුව තුළය. එහෙම පාර්ලිමේන්තුවේදී දවල් දවසේ එකිනෙකාට බැණගන්නා ඔවුන් රෑ වෙනකොට කිසිම ගැටිල්ලක් නැතුව ලොකු ලොකු හෝටල්වල එකට කනවා බොනවාය. දේශපාලුවන් අතර ගැටිලි වැඩිදියුණු වන්නේ මැතිවරණ කාලයේ ඡන්ද බෙදාගන්න බැරුවය. දේශපාලුවන් පසුපස යන ඡන්දදාසලා පිල්වලට බෙදී ගැටිලි හදාගෙන අමාරුවේ වැටුණත් දේශපාලුවන් නම් එහෙම මෝඩ වෙන්නේ නැත්තේය.