ලංකාවේ සිංහල හා දෙමළ ජාතිකවාදයේ පදනම මහාවංශයයි. එය වසර 2,500කටත් වඩා පැරණි මහා සම්ප්රදායක් වන අතර, එයින් අපට රටක් ලෙස එදත්, අදත් අහිමි වූ දෑ බොහෝය. මහාවංශයට අනුව සිංහල ජාතිකත්වයේ උපත සිදුවන්නේ ඉන්දියාවෙන් පැමිණි විජය කුමාරයාගෙනි. ජාතියක් ලෙස උතුරු ඉන්දියානු සංස්කෘත බසින් බිඳුණු සිංහල, දකුණු ඉන්දියානු ද්‍රවිඩයන් දෙමළ භාෂාවට වඩා වැඩි වරප්රසාදිත භාෂාවක්, ජාතියක් බවට සිංහලයන් කල්පනා කරන්නට පටන් ගත්තේ එය ආරම්භ වූ කාලයේ සිටමය. ඒ පිළිබඳ ප්‍රථම සාක්ෂිය වන්නේ විජය කුමාරයාය. ඒ කුප්‍රකට මහාවංශය විසින් පෙන්වා දෙන කුවේණිට සිදු කළ මහා රැවටීමය. එය අපරාදයකි. ඒ අපරාදය මතින් ඔවුන් ලියා තැබුවේ සිංහලයන් ද්‍රවිඩයන්ට මහ ජාතියක් ලෙසිනි.
විජය ලංකාවට ගොඩබසින විටත් ලංකාව විශේෂයෙන් මල්වතු ඔයෙන් උතුරට වන්න ජනාවාසව පැවතිණි. සැබැවින්ම දකුණේද ජනාවාස තිබූ බවට සාක්ෂි දැන් ලැබී තිබේ. නමුත් විජයට මුණ ගැසෙනුයේ මල්වතු ගඟින් උතුරේ කුවේණිගේ පරපුරය. එනම් තම්බපන්නියේ වාසය කළ පිරිස්ය. තම්බපන්නිය යනු මහා විල්පත්තු වන මැද පිහිටි ස්ථානයකි. විජය ලංකාවට පැමිණෙන විට ලංකාවේ උතුරෙහි සංස්කෘතියක් තිබූ බවටත්, සංස්කෘතික මිනිසුන් වාසය කළ බවටත් සාක්ෂි මහාවංශයේම තිබේ. එනම් කුවේණිය විජය ලංකාවට පැමිණෙන විටත් සිටිනුයේ කපු කටිමිනි. කපු කැටීම යනු විලි වසා ගැනීමට රෙදිපිළි නිෂ්පාදනය කිරීමය. එසේනම් වසර 2,550කටත් වඩා ඈත කාලයේ ලංකාවේ මල්වතු ගඟට උතුරින් රෙදි අඳින සංස්කෘතික මිනිසුන් ජීවත්ව තිබේ. ඒ සියල්ලටමත් වඩා කුවේණිය විජය හා ප්‍රේමයෙන් බැඳේ. ප්‍රේමය සංස්කෘතික සමාජයක දියුණු සමාජ හැසිරීමකි. සමාජ ගිවිසුමකි. කුවේණිය ඇතිකර ගත් එම ගිවිසුම අනුව උතුරු ඉන්දියානු විජයට දකුණු ඉන්දියානු සංස්කෘතික ගැහැනිය මල්වතු ගඟින් දකුණේ උතුරු ඉන්දියානු රාජ්‍ය පිහිටුවා ගැනීමට සහයෝගය ලබා දෙයි. විය හැකි ලෙසම කුවේණියගේ සංස්කෘතිය දකුණු ඉන්දියානු විය යුතුය. මන්ද මන්නාරමේ සිට ඉන්දියාවට ඇති දුරත්, ජනපද සියල්ල මල්වතු ගඟින් උතුරේ පිහිටුවා තිබීමත් අදත් එම ප්‍රදේශවල ජනතාව දෙමළ හා හින්දූන් වීමත් වැනි කාරණා හේතුවෙන් අපට නිගමන කළ හැක්කේ ඔවුන්ගේ සංස්කෘතිය දකුණු ඉන්දියානු ද්‍රවිඩ විය හැකි බවය. එසේම විජය කුවේණියගේ පරපුරට පිටස්තරයෙකු වීමටත්, කුවේණිය විජයට පිටස්තරයෙකු වීමටත් බලපෑ ප්‍රධානම හේතුව මෙම උතුරු - දකුණු සංස්කෘතික නොගැළපීමය.
අද නූතන සිංහල ජාතිකවාදීන් මහාවංශයේ සඳහන් විජයගෙන් සිංහලයා පැවැත එතැයි යනුවෙන් දක්වනු ලබන කතාන්දරය තදින් ප්‍රතික්ෂේප කරනු ලබයි. එයට හේතු ගණනාවක් තිබුණද, ඉන් ප්‍රධානතම හේතු වන්නේ විජයගේ ඉන්දියානු රස්තියාදුකාර ජන්මයත්, කුවේණියගේ දෙමළ සංස්කෘතියත් එසේත් නැතිනම් විජයට පෙර කුවේණිය මෙහි ජනාවාසගතව සිටීම තුළින් ඇය මගින් මෙරට සිංහල අධිපතිවාදී මුල් ජනපදික මතය බිඳ දැමීමත්, මේ සියල්ලටම වඩා විජය කුවේණිය කෙරෙහි දැක්වූ කුරිරු සැලකීම සිංහල වැනි සංස්කෘතික ජාතියකට නොගැළපීමත්ය. මෙම නිසා සිංහල ජාතිකවාදී චින්තකයෝ රාවණා කතාන්දරය කරපින්නා ගෙන සිංහල ජාතියේ ආරම්භය පිළිබඳ වෙනත් මතවාදීමය තර්ක ගොඩනගමින් සිටිති.
මීට එරෙහි මගේ තර්කය වන්නේ සිංහල භාෂාව සංස්කෘතවලින් බිඳී එන්නක් වීමත්, එහි හඬ නේපාල භාෂාවට සමීප වීමත්, බුදුදහමත් හේතුවෙන් අප සංස්කෘතික වශයෙන් වැඩි නැඹුරුවක් දක්වන්නේ උතුරු ඉන්දියානු සම්භවයකටය. එම නිසා මහාවංශ කතුවරයාගේ සිංහල ජාතියේ උපත පිළිබඳ කතිකාවට වැඩි බරක් තැබිය හැකි බව මගේ අදහසයි. මෙම තත්ත්වය තුළ සිංහලයට ලංකාවේ පුරෝගාමී ජනපදිකයන් ලෙස කිව නොහැකි අතර, එසේ කිවයුතු නම් කුවේණියගේ පරපුර අයත් වන්නේ කුමන ජන කොටසකටද? අද ඔවුන්ට සිදු වූයේ කුමක්දැයි ඔප්පු කර පෙන්විය යුතුය. එසේ නොවන්නේ නම්, දෙමළ සුළුතරයද මෙරට පූර්වගාමී ජන කොටසක් ලෙස අප වන අතර අප සමාන අයිතිවාසිකම් ඇති අයවලුන් ලෙස එකම මේසයේ ඉඳගෙන කටයුතු කළ යුතුවේ හෝ එසේ කිරීමට හිත හදා ගත යුතු වේ.
මෙවැනි තත්ත්වයක් යටතේ දෙමළා සහ සිංහලයා එකම මේසයක කටයුතු කරද්දී මුසල්මානුවා කටයුතු කළ යුත්තේ දෙවැනි පුරවැසියෙක් ලෙසද? ශ්‍රී ලාංකික සමාජය මුහුණ දෙන අනෙක් ගැටලුව එයයි. මුස්ලිම් ආගම පදනම් කරගත් විශාල ජනතාවක් ලෝකය පුරා විසිරී වාසය කරති. ඔවුහු මූලික වශයෙන් වෙළෙන්දෝය. වෙළෙඳාම පදනම් කරගෙන ඔවුන් ලෝකය පුරා විසිරී ගිය අතර, ලංකාවටද පැමිණියේ ශත වර්ෂ ගණනාවකට පෙර වෙළෙඳාම උදෙසාය. ලංකාවේ මුස්ලිම් ජනතාව පිළිබඳ සිදු කරන ලද සියලු අධ්‍යයනයන්ගෙන් ඔප්පු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රථමයෙන් පැමිණ ඇත්තේ පිරිමි පාර්ශ්වය පමණක් බවයි. ඉන් අදහස් වන්නේ ඔවුන් විසින් සිංහල හා දෙමළ කාන්තාවන් හා සරණ ගොස් ලංකාවේ පදිංචි වී ඇති බවයි. එසේ නම් ලංකාවේ ජීවත් වන සියලුම මුස්ලිම්වරුන්ගේ මවු රට ලංකාව බවයි. එනම් ලාංකික මවක් නොවන කිසිදු මුස්ලිම්වරයෙකු ඉතිහාසයේ කිසිදු දිනයක ලංකාවේ වාසය කර නොමැති බවයි. මේ අනුව මගේ නිගමනය වන්නේ %ලංකාවේ සිංහල, මුස්ලිම් හා ද්‍රවිඩ සියලුම දෙනා එකම මේසයේ වාඩි විය හැකි සමාන අයිතිවාසිකම් ඇත්තෝ වෙති^ යන්නය. මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් තුනට අයත් ශ්‍රී ලාංකික අනන්‍යතාවෙන් කටයුතු කළ යුතු රටකි. මෙහි අන්තගාමී, ජාතිවාදීව කටයුතු කරන යමෙක් වේද ඔහු රටට සතුරුව කටයුතු කරන්නෙකු වේ. ඔවුහු අලුයම ලූ කෙළ පිඬක් මෙන් ප්‍රතික්ෂේප කළ යුත්තෝ වෙති. එසේ නොවන්නේ නම් අපට කුවේණියගේ සාපයෙන් මිදිය නොහැකි වන්නේය.