බොහෝ අය දස්ස කෙරිල්ලට නොව කියැවිල්ලටය. ටිකක් කරමින් හුඟක් දේවල් කියැවිල්ලට ඒ අය පුරුදුවෙලා තියෙනවාය. මෙහෙම තැන නොතැන නොබලා දිගටම කියැවිල්ලට යෑමෙන් අමාරුවේ වැටෙන අය වැඩිය.
තොරතෝංචියක් නැතුව මෙහෙම කියැවිල්ලෙන් කප්ගහලා තියෙන්නේ අපේ බවලත් පක්ෂය. ඒ අය එහෙම කියවන දේවල්වලට කියන්නේ ඕපාදූප කියලාය. වැඩියෙන් කියවන්නේ වට්ටි අම්මලා යැයි කිව්වේ ඉස්සරය. දැන් හොඳහැටි දැන උගත් අයත් කියැවිල්ලට පුරුදුවෙලා තිබෙනවාය.
ගිරවුන් කියවන්නේ අනුන්ගෙන් කටපාඩම් කරගත් දේවල්ය. අපේ ඇතැම් රූපවාහිනී නිවේදිකාවන්ද ගිරවුන් වගේ කියැවිල්ලට පුරුදුවෙලා සිටිනවාය. ඒ හරයක් නැති කියවිලි ඇහුණාම අප්පිරියා හිතෙනවාය. ඒ ගොල්ලන් අමාරුවේ වැටිලා තියෙන්නේ නොදන්නා දේවල් කියැවිල්ලට යාම නිසාය.
සමහර අය තනියම කියවන්නේ පිස්සු හැදිලා වගේය. හොඳට සිහි මොළේ ඇති අයත් පිස්සන් මෙන් කියවන්නට පටන්ගෙන තිබීම ගැන පුදුම හිතෙනවාය. තවත් අය කියවන්නේ නින්දේදීය. අවදි වී සිටින විට කියැවිල්ල අඩු අය නින්දට ගියාම ඒකටත් එක්ක වැඩියෙන් කියවනවාය. එහෙම කියවන්නේ අවදි වී සිටින විට අප කරන ක්‍රියා යටි සිතේ තැන්පත් වී තිබෙන හින්දාය. ඒ නිසා නින්දේදී කියවන අය අවදිව සිටින විට පරිස්සමෙන් වැඩ කළොත් හොඳය. එයට හේතුව නින්දේදී කියැවිල්ලෙන් රහස් එළිවෙන්න පුළුවන් නිසාය.
ඉස්සර නම් කවි කියැවිල්ල කළේ ගැමියන්ය. කමත් කවි, පැල් කවි, කරත්ත කවි, පාරු කවි ආදී කවි කියැවිල්ලට ගැමියා පුරුදු වී සිටියේය. මෙහෙම කවි කියැවිල්ලෙන් කරන වැඩේ වෙහෙස නිවා ගන්නවාය. ඒ කාලේ පාසල් සිසුන්ට කවි කියැවිල්ල අනිවාර්යය පාඩමක් වූවේය. හොඳට හඬ නගා තාලයට කවි කියැවිල්ලට දස්ස සිසුන්ට විභාගවලදී ඉහළ ලකුණු ලැබුණේය. ඒ පාසල් සිසුන් ගණ දෙවි හෑල්ලේ, වදන් කවිපොත්, තුන් සරණේ, ලෝවැඩ සඟරාවේ, සුභාෂිතේ කවි උස් හඬින් කියැවිල්ලට දස්ස වුණත් අද ළමයින් එවැනි කවිපොත් ගැන අහලාවත් නැත්තේය. අද දරුවන් දස්ස සිංදු කියැවිල්ලටය. අනුන් කියූ සිංදු හොරෙන් තරගවලදී කියා සුපර් ස්ටාර්ස්ලා වෙලා ලොකු ලොකු තෑගි දිනනවාය. ඇත්තටම ඒ සිංදු මුලින් කියූ ගායකයාට සත පහක්වත් ලැබෙන්නේ නැත්තේය.
සාත්තර කියැවිල්ලට දස්ස අයට හොඳ ආදායමක් ලැබෙනවාය. දේව වරමින් සාත්තර කියැවිල්ලට ප්‍රසිද්ධ අය දේවාල අටවාගෙන හොඳට හම්බ කරනවාය. දේවාලයේ කපුවා පරලය වූ පසු එකදිගට කියවනවාය. එහෙම දේවාරූඪයෙන් කරන කියැවිල්ල පරිවර්තනය කර ආපසු කියවන්නේ කපුරාළගේ ගෝලයාය. අසන අයට සිද්ධ වෙන්නේ හරි හෝ වැරදි හෝ ගෝලයාගේ කියැවිල්ල අහගෙන සිටින්නටය.
පිරිත් කියැවිල්ල කරන්නේ අපල උපද්‍රව දුරු කරන්නටය. බණ කියැවිල්ල බුද්ධාගමේ සඳහන් දස පින්වලින් එකක්ය. කෙනෙකු මිය ගිය පසු සතියෙන්, තුන් මාසයෙන් සහ අවුරුද්දෙන් බණ කියනවාය. මෙහෙම කියවන බණ අහන්න එන අය අඩු වුණත් වැඩි දෙනා බණ ගෙදරට එන්නේ බණ කියැවිල්ල ඉවර වී හාමුදුරුවන් වැඩියාට පසුවය. එහෙම පසු වෙලා එන්නේ බණ කියැවිල්ල අහන්නට නොව හොඳ හැටි බඩකට පුරවා ගන්නටය.
අද නම් බණ පැකේජ් තියෙන හින්දා බණ කියැවිල්ලට එන ප්‍රසිද්ධ හාමුදුරුවරු රුපියල් විසිපන්දාහ, පනස්දාහ බණ කියැවිල්ලට අය කරන නිසා පොඩි මිනිහට බණක් කියැවිල්ලට බැරි වෙලා තිබෙනවාය. වැඩියෙන්ම ගාථා කියැවිල්ල කරන්නේ දහම් පාසල්වලය.
සමහරුන්ගේ එක දිගට කියැවිල්ල අසා සිටින අයට එපා වෙනවාය. සමහර කතුන් තම සැමියාගේ, දරුවන්ගේ, නෑදෑයන්ගේ පම්පෝරිය කියැවිල්ලට පටන්ගත් විට නවත්වන්න අමාරුය.
දිගටම කියැවිල්ලට දස්සකමට කියන්නේ මුඛරිකම කියලාය. ඉස්සර දිගටම කියැවිල්ලට ගිහිල්ලා එය නවත්වා ගන්න බැරි වූ බමුණෙකුට එළුබෙටි හැලියක් ගිල්ල වූ කතාවක් තියෙනවාය.
පත්තර කියැවිල්ල දැන් නම් බොහෝ නාළිකාවල තියෙනවාය. ඉස්සර ගමේ කෝපි කඩේ එක්කෙනෙක් පත්තරයක් කියන විට සෙසු අය අසාගෙන සිටියේ මුවද විවර කරගෙනය. ඒත් අද නම් පත්තර කියැවිල්ල නිසා පත්තර බලන්නට ඕනෑ නැත්තේය. අද පත්තර කියැවිල්ල රූපවාහිනී අතර තරගයක් වෙලාය.
පොත් කියැවිල්ල, පත්තර කියැවිල්ලට වඩා වැදගත්ය. ඉස්ස නම් පොත් මිලට ගෙන කියවන්නට පුළුවන් වුණත්, අද පොත්වල මිලේ හැටියට එහෙම සල්ලි දීලා අරගෙන කියවන්නට අමාරුය. ඒ හින්දා පුස්තකාලවලට ගිහිං කියවන්නට සිදුවෙලාය. අද පුස්තකාලවල පොත් තිබුණත් ඒවා කියවන අය අඩු වෙලා තියෙන්නේ පොත් කියැවිල්ලට වඩා චැනල් ඇසිල්ල, බැලිල්ල හොඳ නිසාය.
ඔක්කොටම වඩා කියැවිල්ලට දස්ස අපේ දේශපාළුවන්ය. ඒ ගොල්ලෝ වේදිකාවල කියන කියැවිල්ල අසා ඡන්ය දෙන අපට සිදුවන්නේ ඡන්දයෙන් පසු තමා කළ මෝඩකම ගැන කියවකියවා සිටින්නටය.