අපේ මිනිස්සු කොහොමත් හැදිල්ලට වඩා කැඩිල්ලට දස්සය. හදන ඒවාට වඩා කඩන ඒවා වැඩිය. අවුරුදු ගාණක් තිස්සේ මහන්සියෙන් හැදූ දෙයක් එක මොහොතින් කැඩිල්ලට ඔවුන් දස්සය. සමහර අය කඩ කඩා හදනවාය. ඒ අතරම හද හදා කැඩිල්ලට පුරුදු වෙලා සිටින අයද එමටය. පොදු ස්ථානවල තිබෙන දේවල් කාටවත් අයිති නැතැයි සිතලා කඩන අය ඉන්නවාය. සමහර අය පොදු දේවල් කඩන්නේ ඒවා ආණ්ඩුවේ දේවල්ය කියලා හිතලාය. හැබැයි ආණ්ඩුවත් කරන නරක වැඩය වන්නේ එහෙම කඩන කඩන දේවල් හදන එකය.
එහෙම කැඩිල්ල හොඳය කියන පිරිසක් ඉන්නවාය. ඔවුන්ට වැඩ තියෙන්නේ කඩන තරමටය. ආණ්ඩුවේ කොන්ත්රාත් කරන අයට නම් ආපහු කොන්ත්රාත් ලැබෙන්නේ එහෙම කැඩිල්ල වැඩිවෙන කොටය. කාටත් වැඩිය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සහ ලොකු ලොක්කන් එහෙම කඩ කඩා හැදිල්ලට දස්ස, ඒවා හදන විට ඒ අයගේ සාක්කු පිරෙන හින්දාය.
අටුව කඩා පුටුව හැදිල්ල බොහෝ දෙනාට පුරුදුය. ඒත් එහෙම අටුව කඩලා හදන පුටුවල වාඩි වුණාම සිද්ධ වෙන්නේ එය කඩා වැටිලා කොන්ද කඩා ගන්නටය. ඒත් සමහර අයට නම් එහෙම කඩා ගන්නට කොන්දක් ඉතුරු වෙලා නැත්තේ එය හැම දෙනාටම නමලා ඉලාස්ටික් වෙලා තිබෙන හින්දාය. කොයිදේත් හයිය වැඩි වුණාම කැඩිල්ලද වැඩිය. කඩන්න බැරි තරම් හයිය වුණත් කොහොම හරි කඩන්න පුළුවන් ක්රම තියෙනවාය.
සමහර අය නීති කැඩිල්ලට කප් ගහලා තියෙනවාය. කැඩිල්ලට වැඩිය නීතිය නැමිල්ලට දස්ස අයද ඉන්නවාය. ඒ අය නීතිය කඩන්නේ නැතුව නීතිය නමාගෙන රිංගලා ගිහිල්ලා ඕනෑම දහජරා වැඩක් කරන්න දස්සය. නීතිය කඩන අයට වැඩිය ඒ අයට නීතියෙන් බේරෙන්න ලෙහෙසිය.
සුටුස් ගාලා ඕනෑම කෙන්දක් කඩන්න පහසු වුණත් කෙඳි රැසක් එකතු කරලා අඹරන කඹය නම් කැඩිල්ල අමාරුය. කඹ ඇදීමේ තරගවලට හොඳ කඹයක් යොදාගත යුත්තේ එය දුර්වල කඹයක් වුණොත් අදින විට දෙකට කැඩිලා අදින අයගේ කොන්ද කඩා ගන්නට වෙන හින්දාය.
වක්කඩ කැඩිල්ලෙන් පහළ කුඹුරුවලට වතුර ගන්න පුළුවන්ය. සමහර ගොවිරාළලා තමන්ගේ කුඹුරට වතුර ගන්න ඕනෑ වුණාම කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව අනුන්ගේ වක්කඩවල් කඩනවාය. සමහරුන් වක්කඩ කැඩුවා වගේ එක දිගට හොඳ දේත්, නරක දේත් කතා කිරීමට පුරුදු වෙලා ඉන්නවාය. එහෙම අයට වැඩිකල් නොගොස් කාගෙන් හරි කට කඩා ගන්නට සිද්ධ වෙනවාය. කළයේ කට කැඩුණු විට එහි වටිනාකම පහළ බහිනවාය. අන්දරේ මල්මද බිසවුන්ට සමච්චල් කළේ &කට කැඩි කළේ දිය උකුලේ තබාගෙන* යැයි කියලාය. ඒත් අද නම් වැඩිපුර තියෙන්නේ ඇලුමිනියම් හා ප්ලාස්ටික් කළ හින්දා ඒවායේ කටවල් කැඩිල්ල නැත්තේය.
අනුන්ගේ දේවල් කඩා වඩා ගැනිල්ලට අද බොහෝ දෙනා පුරුදු වෙලා තියෙනවාය. එහෙම අනුන්ගේ දේවල් කැඩිල්ලට යන අයගේ සමහර දේවල් වෙනත් අය කඩා ගන්නවා යැයි ඒ අය දන්නේ නැත්තේය. අනවසර කඩවල් කඩන්නේ නගර සභාවෙන් ඇවිල්ලාය. එහෙම කැඩිල්ලට බැකෝ යන්ත්ර යොදවා ගන්නවාය. ඒත් එහෙම කඩන සමහර කඩ පහුවදා උදේ වෙනකොට තිබුණාටත් වැඩිය හොඳට ඉදිකරලා තියෙනවාය. මැම්බර් කෙනෙකුගේ සපෝට් එකෙන් ඉදිවෙන ඒ කඩ කැඩිල්ලට දස්ස කෙනෙක් නැත්තේය.
අතපය කැඩෙන්නේ ගහකින්, ගලකින් වැටුණු විටය. එහෙමත් නැතිනම් කැඩෙන්නට පොලු පහරක් දිය යුතුය. ඒත් සමහර පුද්ගලික බස්වල පටෝන හැටියට මගීන්ගේ කොන්ද කැඩිල්ල සිද්ධ වෙන්නේ බස් එක ඇතුළේදීය. බස්වලට ආණ්ඩුවෙන් කොච්චර නීති දැම්මත් ඒවා කැඩිල්ලට බස්කාරයන් නම් දරා තිබෙනවාය. සමහර අබලන් බස් පාරේ දුවන විට කැඩිලා මගීන්ට අතරමං වෙන්න සිද්ද වෙනවාය. ඒත් එහෙම කැඩිච්ච ඒවා අටෝගෙන ධාවනය කිරීමට ඒ ගොල්ලන් හරිම දස්සය. එහෙම වැඩියෙන්ම කැඩෙන්නේ ලංගම බස්ය. බස් වාගේ නිතර කැඩෙන්නේ නැති වුණාට අනතුරක් සිදු වුණාම කෝච්චි පෙට්ටි කැඩිලා සීසීකඩ වෙනවාය. එහෙම කැඩුණාම මගීන් බොහෝ දෙනෙකු අනතුරට භාජනය වෙනවාය. වර්ෂාවෙන් පාලම කැඩුණු විට රථවාහනවලට ධාවනය කරන්න බැරිය. එහෙම කැඩිච්ච ඒවා හදන්න බොහොම කල් ගන්නවාය. ඒ වුණාට පයින් යන පොල් කොට පාලම් නම් කැඩුණාම ඉක්මනින් හදාගන්න පුළුවන්ය. පාලම් විතරක් නොව වැස්සට පාරවල් කැඩෙනවාය. එහෙම කැඩිච්ච පාරවල් හදන්නට කොන්ත්රාත් දෙනවාය. කැඩිච්ච පාරවල්
කොන්ත්රාත්කාරයන් හැදුවත් ඊළඟ වැස්සේදී ආපහු කැඩෙන්නේ ඒ හැදූ අයගේ දස්සකම් හින්දාය. පාරවල් කැඩෙන තරමට වාසි වන්නේ කොන්ත්රාත්කාරයන්ට විතරක් නොවේය. කැඩිච්ච පාරවල් හදන්න කොන්ත්රාත් දෙන මන්ත්රීලාටද යහමින් හොයා ගන්න පුළුවන්ය. ඒ හින්දා පාරවල් කැඩෙන තරමට කොන්ත්රාත්කාරයන් වගේම මන්ත්රීලාද කැමතිය.
කට කැඩිච්ච කතා කියන්න එපා යැයි කියන්නේ ආතක් පාතක් නැතුව කතා කරන විටය. නහය කඩාගෙන යන සුවඳ හමන්නේ පාරේ කුණු ගොඩවල් ළඟින් යන කොටය. පසුගිය අලුත් අවුරුදු දවසක මීතොටමුල්ලේ කුණු කන්දක් කඩාගෙන වැටිලා ගෙවල් යටවී මිනිසුන්ද මැරුණේය. එහෙත් ඒ කැඩිච්ච ගෙවල්වලට හා මියගිය අයට තවම වන්දි ගෙවා නැත්තේය. &පරණ පිනක් මගෙ හිසේ කඩාගෙන වැටුණා* යැයි කියන්නේ බලාපොරොත්තු නොවූ වාසියක් ලැබුණු විටය. ඒත් එහෙම වාසි හැම දෙනාටම කඩාපාත් වෙන්නේ නැත්තේය.
ඉහළ ගිය සරුංගල් නූල කැඩුණු විට ඈතට පාවී ගොස් කොහේ හරි කඩාගෙන වැටෙනවාය. සරම ඇඳලා හරියට පටිය දමන්නට බැරි වුණොත් සරම කඩාගෙන වැටෙනවාය. යට ඇඳුමක් නැති කෙනෙකුගේ සරම කඩාගෙන වැටුණොත් අපට වෙන්නේ අහක බලන්නටය. ආණ්ඩු කැඩෙන්නේ ජනතාවගේ ඡන්ද බලයෙන්ය. දේශපාලුවන් ඡන්ද කැඩෙන එක වළක්වා ගැනීමට බොරු පොරොන්දු දෙනවාය. එහෙත් ඒවා ඉටු නොවෙන විට ඡන්ද දාසලාගේ ජීවිත කඩාගෙන වැටෙනවාය.