යහපාලන රජය බලයට පත්වීමට ප්‍රථමයෙන් ලංකාවේ දේශපාලන සන්නිවේදනයේ කෙරුම්කාරයන් සියල්ල සිටියේ එවකට පැවැති ආණ්ඩුව සමගය. ඇතැම් ජනමාධ්‍ය ආයතන රාජපක්ෂවරුන්ට වහවැටී සිටියේය. මන්ද රජයේ මුදල්, ප්රචාරයට වියදම් කිරීමේදී කිසිදු වගවීමක් නොතිබුණු රාජපක්ෂවරුන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකට ප්‍රචාරය දීමට ඔවුහු සැදීපැහැදී සිටියහ. ඒ අනුව මෙරට ඇතැම් විද්‍යුත් ජනමාධ්‍ය ආයතන, පුවත්පත්, වෙබ් හා ලියුම්කරුවන් මහින්දගේ පැණිමුලට වහවැටී සිටියේය. විපක්ෂය සතුව තිබුණේ වෙබ් පිටු කිහිපයක් හා යුද හමුදා බුද්ධි අංශය මගින් විපක්ෂයේ සටන්වලට යොදවා තිබූ නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලැබූ වෙබ් පිටු දෙකක් පමණි.
අවසාන මොහොතේදී එක්තරා නාළිකාවක් විපක්ෂය සමග සම්බන්ධ වූ අතර, තවත් නාළිකාවක් විසින් වැනෙමින් විපක්ෂයට යම් සහායක් ලබාදෙනු ලැබීය. මෙම තත්ත්වය නිසා නිර්මාණශීලී තරුණ තරුණියන්ට සැලකිය යුතු ඉඩක් විවර වූ අතර, නව යොවුන් වියේ සිටි කණ්ඩායම් ආණ්ඩු විරෝධී වෙබ් පිටු හා සමාජ ජාල වැඩසටහන් වෙනුවෙන් පෙළ ගැසිණි. විශේෂයෙන් එවකට විපක්ෂයේ මාධ්‍යය මෙහෙයුම් භාරව සිටි බොහෝ දෙනෙකුට සමාජ මාධ්‍ය පිළිබඳ අද තරම් අවබෝධයක් නොතිබුණු බැවින් තරුණ කණ්ඩායම්වලට නිදහසේ වැඩකටයුතු කිරීමට අවස්ථාවක් ලැබිණි. මාගේ පෞද්ගලික තක්සේරුව නම්, මුළු රටේම ලක්ෂ පහක පමණ තරුණ පිරිසක් අවිධිමත් ආකාරයෙන් එම මැතිවරණයේදී පොදු අපේක්ෂකයා දිනවීමට කටයුතු කළ අතර, එය ලංකාවේ දේශපාලන ව්‍යාපාරයක වැඩිම ජන ක්රියාකාරීත්වයක් ලැබුණු අවස්ථාව වෙයි. එම මැතිවරණ ව්‍යාපාරයේදී සමාජ මාධ්‍ය වෙනුවෙන් මුදල් වෙන් නොවූ අතර, ප්‍රජා සහභාගිත්ව ප්රවේශයකින් සිදු විය. කලකට ඉහත සමාජ ක්‍රියාකාරීන් වහවැටී සිටි %PR^ ක්‍රමය හොඳින් භාවිතයට ගත් අවස්ථාවක් විය. සමාජ මාධ්‍ය යනු තොරතුරු තාක්ෂණයට අදාළ විෂයයක් නොව මනෝ සමාජීය විෂයයක් බවට මා ලියූ විට දේශපාලන සන්නිවේදක එක්තරා ලියුම්කරුවෙකු සතපහ දැමූ හැටි තවම මතකයේ තිබේ.
ජනවාරි නව වැනිදායින් පසු යුගය ඊට පෙර දිනයට වඩා වෙනස් දිනයකි. සියලු දෙනා වෙහෙස මහන්සි වී වැඩ කරද්දී එදා විපක්ෂ බලවේගය තුළ තවත් අපූරු කණ්ඩායමක් විය. ඒ දේශපාලන සන්නිවේදන කෙරුම්කාරයන්ය. ඔවුන් බොහෝ කාලයක් විපක්ෂයේ ගතකොට පරාජිත මැතිවරණ රාශියක කටයුතු කොට විපක්ෂ බලවේග අතර නම් දරු කණ්ඩායමකි. ඔවුන් තුළ අපූරු ආකල්පයක්ද විය. එනම් %උඹලා ආණ්ඩුව ගනිල්ලකෝ, අපිනේ රට කොරන්නේ^ යන ආකල්පයයි. ඇතැම් අවස්ථාවල ඔවුන් එය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ අතර, සැබෑ ලෙසම එය එලෙසම සිදු විය.
ඉන් පසු පසුගිය වසර තුන තුළ සැබෑ ලෙසම මෙම ආණ්ඩුව බලයට පත්කළ බලවේග ආණ්ඩුවේ හෝ පක්ෂයේ ප්රචාරක යාන්ත්රණයට සම්බන්ධ කර ගැනීමට කිසිදු උත්සාහයක් නොගත් අතර, එම බලවේග පිළිබඳ ඇතැම් විට අවබෝධයක් නොතිබිණි. නැති නම් ඔවුන්ට සතපහ දැමිණි. එහි ප්‍රතිඵලය වූයේ සුපුරුදු හැම ආණ්ඩුවක් සමගම ගනුදෙනු කරන කණ්ඩායම් සමග කටයුතු කිරීමය. එමගින් සිදුව ඇති හානියෙහි දිග පළල මේ වන විට සියල්ලන්ටම අවබෝධ වී තිබේ. එලෙස මෙම ප්රචාරක යාන්ත්රණයට පාක්ෂිකයන් සම්බන්ධ කර ගැනීමට හැකියාව තිබූ බලවත් පුද්ගලයන් අදාළ තනතුරු සියල්ල පත් කරනු ලැබුවේ අරුම පුදුම දේශපාලනයකටය. එහි ගඳ අද ආණ්ඩුව පුරාමය.
දැන් ආණ්ඩුව පැමිණ තිබෙනුයේ තීරණාත්මක තලයකටය. ඉදිරි මාස දහඅටක කාලය තීරණාත්මකය. මොළය සේවයට කැඳවිය යුතු මොහොත මෙයයි. මොළය පාවිච්චියෙන් මිස වෙන කිසිදු ශරීර අවයවයකින් මෙම මොහොත ජයගත නොහැකිය. මේ මොහොතේ භාවිතයට ගත හැකි සෑම සම්පතක්ම, පුද්ගලයෙකුම හා අදහසක්ම වටින්නේය. කුඩුකේඩුකම්වලට ඉඩක් හෝ කාලයක් නැත්තේය. නිවැරදිව මේ මොහොත කළමනාකරණය කළ නොගත හොත් ආණ්ඩුව පමණක් නොව රටද, ජීවිතද අහිමි වනු ඇත.
නැවත සමාජ මාධ්‍යවලට දේශපාලන අධිකාරී බලයක් ලැබෙනුයේ ජාතික මැතිවරණයක් තුළදීය. එය කෘත්‍රිමව පාලනය කළ හැකි සීමාවක් තිබේ. නමුත් සාම්ප්‍රදායික මාධ්‍ය ආණ්ඩුවේ ප්රචාරයට නිවැරදිව යොදා ගැනීමත්, එම තත්ත්වය පදනම් කර ගනිමින් සමාජ මාධ්‍ය මෙහෙයවීමත් කළ යුතුය. ආණ්ඩුවට අද දේශපාලන තර්ජනයක් තිබෙනවා නම්, ඒ ප්‍රධාන වශයෙන් ලංකාවේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතන තුනකිනි. ඒවා කළමනාකරණය කරන අතරම රජය මාධ්‍ය දේශපාලනිකව කළමනාකරණය කළ යුතුය. ඉදිරියේදී පැමිණෙන පළමු මැතිවරණය පැහැදිලිය. ඒ ජනාධිපතිවරණයයි. ඒ සඳහා ඉදිරිපත් වීමට සුදුසුම පුද්ගලයා වනුයේ රනිල් වික්‍රමසිංහය. ඔහු ඉදිරිපත් නොවන්නේ නම්, පමණක් තවත් එක්සත් ජාතික පක්ෂ නායකයෙකුට ඉඩ ඇත්තේය.
අවසාන වශයෙන් කිව යුත්තේ වර්තමාන ආණ්ඩුව තුළ සියලුම වර්ගයේ මිනිසුන් සිටින බවය. මෙවැනි සංකීර්ණ ආණ්ඩුවක් නිදහසින් පසු බිහිව නැත. එසේම ආණ්ඩුව විසින් රටට ලබාදී ඇති ජයග්‍රහණ බොහෝය. ඒවා ඉටුකර ගන්නා මාර්ගය ඇත්තේ කටු උගුල්වලින් පිරී පවතී. මෙම මාර්ගයේ සීරුවෙන් ඉදිරි කාලය ගමන් කිරීමෙන් පමණක් 2020 ජයගත හැකිය.