ලෝකයේ ආර්ථිකය හැසිරෙමින් ඇති ආකාරය විග්රහ කිරීම පහසු කටයුත්තක් නොවේ. ඊට හේතුව නම් ලෝක නිෂ්පාදන ක්‍රියාවලියේ සිදුවෙමින් පවතින විශාල පොළාපැනීම්ය. මීට දශක කිහිපයකට ඉහතදී පැවැති ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියට වඩා හාත්පසින්ම වෙනස් වූ ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියක් දැන් පවති.
ඒ අතරින් භෞතිකව හසු නොවන අස්පර්ශීය ආර්ථිකයක් (Intangible economy) දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතී. ටොම් ගුඩ්වින් නම් ප්‍රංශ ජාතික මාධ්‍ය විශ්ලේෂකයා වරක් පෙන්වා දුන්නේ ලෝකයේ විශාලතම ටැක්සි සමාගම ඌබර් සමාගම වුවද එම සමාගම සතුව එකම මෝටර් රථයක් හෝ නොමැති බවයි. පසුගිය වසරේදී එම සමාගමේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6,500කි.
ලෝකයේ විශාලතම මාධ්‍ය සමාගම වන්නේ ෆේස්බුක් සමාගමයි. ෆේස්බුක් සමාගම මගින් කිසිදු අන්තර්ගතයක් (Content) නිර්මාණය නොකෙරේ. අන්තර්ගතය නිර්මාණය කරන්නේ භාවිත කරන ජනතාවයි. එහි ආදායම ඇෙමරිකානු ඩොලර් මිලියන 27,640කි. නවාතැන් පහසුකම් සැපයීමේ ලොව විශාලතම සමාගම නම් Airbnb ය. නමුත් එයට අයත් එකම හෝටලයක් හෝ නොමැත.
එනම්, ලෝකයේ ආර්ථිකය හැසිරෙන ආකාරයේ යම් සුසමාදර්ශ මාරු වීමක් සිදුවෙයි. මෙතෙක් ප්රාග්ධනය ලෙස යන්ත්‍ර සූත්‍ර, භූමිය, ගොඩනැගිලි ආදිය සැලකුවද දැන් ඒවා ප්‍රතිස්ථාපනය කරමින් නොපෙනන අන්තර්ජාලය තුළ ප්රාග්ධනය හුවමාරු වෙයි. ඇසට නොපෙනන අවකාශය තුළ විවිධ තරංග වේශයෙන් කෝටි ප්‍රකෝටි මුදල් ගනුදෙනු සිදුවෙයි. කම්බි දිගේ කෝටි සංඛ්‍යාත වටිනාකම් ගලා යයි.
ඉහතින් සඳහන් කරන ලද ඌබර්, Airbnb වැනි සමාගම් සිදුකරන්නේ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධීකරණයක් පමණි. මෙය ධනවාදයේ එක්තරා අවදියක් වශයෙන්ද හඳුනා ගැනීමට පුළුවන. ඇතැම් විචාරකයන් පවසන්නේ ප්‍රාග්ධනයෙන් තොර ප්රාග්ධනවාදයක් (capitalism without capital) මතුවෙමින් ඇති බවයි. සම්භාව්‍ය අර්ථය අනුව ප්රාග්ධනය වශයෙන් භෞතිකව හසුවන දේ පිළිගන්නා ලදී. පර්යේෂණ සහ සංවර්ධනය, මෘදුකාංග, දත්ත බැංකු, සන්නාම ආදිය මේ අනුව නව ප්රාග්ධනය බවට පත්වෙමින් ඇත.
1903 වසරේ ෆෝර්ඩ් සමාගම ආරම්භ කිරීමේ සිට පළමුවරට Model T වර්ගයේ මෝටර් රථයක් එළිදැක්වීම සඳහා වසර පහක කාලයක් ගත විය. ඌබර් සමාගම 2009 වසරේදී පිහිටුවන ලද අතර, වසර තුනක් වැනි කාලයක් තුළ ගෝලීය වෙළෙඳ පොළ ජය ගැනීමට සමත් විය. ඌබර් වැනි ආයතන ෆෝර්ඩ් වැනි සමාගම් මෙන් අලුත් දේ නිෂ්පාදනය කරන්නේ නැත.
ධනවාදයේ දක්නට ලැබෙන පොදු සාධකය වූ සංකේන්ද්‍රණය හෙවත් බලවන්තයා සියල්ල ඩැහැ ගැනීමේ ප්‍රවණතාව අන්තර්ජාලය පාදක වූ නව ආර්ථිකය වෙතද පවතී. අතිවිශාල සමාගම් මගින් කුඩා සමාගම් මිලදී ගැනීම, කුඩා පරිමාණ සමාගම්වලට වෙළෙඳ පොළ ඒකාධිකාරය සමග ගැටීමට සිදුවීම වැනි දේ නව තත්ත්වයන් යටතේද දැක ගැනීමට ලැබේ. එසේම, මෙම සමාගම් ඕනෑම මොහොතකදී බිඳ වැටීමට පුළුවන. භෞතිකව නොපෙනන පරිදි වර්ධනය මෙම ආර්ථිකය පෙණ බුබුළක් මෙන් පුපුරා යෑමට ඉඩ ඇත. භෞතික ප්‍රාග්ධනයක් සමග පවත්වාගෙන යන සමාගම් බිඳ වැටුණහොත් භූමිය, ගොඩනැගිලි, යන්ත්රසූත්ර ආදිය හෝ විකුණා අලාභ පියවීමට හැකිමුත් මෙම නව සමාගම් පෙණ බුබුළු මෙන් විසිරී යනු ඇත.
දර්ශන අශෝක කුමාර