ශ්‍රී ලංකාව සාක්ෂරතාෙවන් ඉහළ රටකි. අපි මේ පිළිබඳ බොහෝ ආඩම්බරයෙන් කතා කරන්නෙමු. ඇතැම් දේශපාලඥයෝද තමන් සහභාගි වන ජාත්‍යන්තර සමුළුවලදී මේ පිළිබඳ උජාරුවෙන් කතා කරති. ලංකාවේ සාක්ෂරතාව වර්ධනය වූයේ මෙම දේශපාලඥයන් (ප්‍රතිපත්ති සම්පාදකයන්) නිසා හෝ ඔවුන් විසින් සාදන ලද ප්‍රතිපත්ති නිසා නොවේ. ශ්‍රී ලංකාව චාරිත්‍රයක් ලෙස නැකතට අකුරු කියවන මිනිසුන් වෙසෙන රටකි. දුප්පත් හෝ පොහොසත් වේවා සෑම කෙනෙක්ම මෙම චාරිත්‍රය තරාතිරම නොබලා තම දරුවන් වෙනුවෙන් ඉටුකරති. සාක්ෂරතාව යනු ලිවීමේ හා කියැවීමේ හැකියාවයි.
සාක්ෂරතාව අපට ලැබෙනුයේ අප කුඩා කල සිටමය. මෙලෙස අධ්‍යාපනික, සංස්කෘතික පදනමක් ඇති රටක තිබෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය කාබාසිනියා කර දැමීමක් තිබේ. ඒ වෙන කවුරුන් හෝ නොව අමතර පන්ති පවත්වන මුදලාලිලා සහ තක්කඩි අධ්‍යාපන ආයතනයන්ය.විශේෂයෙන්ම අද වනවිට විවිධ පාඨමාලාවක් දිවයින පුරා ක්‍රියාත්මක වේ. මේවායෙහි ගුණ අගුණ, ප්‍රමිතිය ගැන කතා කිරීමට කිසිදු වගකිව යුතු බලධාරියෙකුගේ ඇස් ඇරී නොමැත. ප්‍රමිතියකින් තොරව, වාණිජ පරමාර්ථයෙන් මෙවැනි පාඨමාලාවන් පැවැත්වීම හේතුවෙන් අපේ දරුදැරියන් බොහෝ දෙනෙක් රැවටෙති. අනර්ථයට පත්වෙති.
පසුගිය කාලයේදී බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය දුශ්‍යන්ත මිත්‍රපාලගේ අත්සනින් යුතු ලිපියක් දිස්ත්‍රික්ක 06ක දහම්පාසල් ප්රධානාචාර්යවරුන්ට ලැබී තිබේ. එම ලිපියෙහි දක්වා ඇත්තේ දහම්පාසල් දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම් සිදුකරන පාඨමාලාවක් සඳහා දරුවන් සහභාගි කරවීම පිළිබඳවය. මෙය දින 10ක් පැවැත්වෙන අතර, පැය 50ක පාඨමාලාවකි. එහිදී දින 03ක් ව්‍යාකරණ මූලධර්ම ගැන ඉගැන්වෙන අතර, දින 07ක් කථන පුහුණුව සිදුකරනු ලබයි.
මෙම පාඨමාලාව පවත්වන ආයතනය මෙරට රාජ්‍ය සේවකයන්ට හා රාජ්‍ය සේවයට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට දායක වූ ආයතනයක් ලෙසටද දරුවන්ට හඳුන්වා දී තිබිණි. එමෙන්ම මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබන පාඨමාලාවක් බවටද සඳහන් කර තිබිණි.
එහෙත් අවසානයේ දී පාඨමාලා ගාස්තු, විභාග ගාස්තු, සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ දී පළඳින ලෝගුව ඇතුළු සියල්ලට එක් දරුවෙකු ගෙන් රුපියල් 8,500 ක් වැය වී තිබිණි. සහතික පත්‍ර ප්රදානෝත්සවයේදී සිදුවනුයේද අපූරු දෙයක් වන අතර, ගරු ගාම්භීර ලෙස පවත්වනවා යැයි පැවසූ එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයෙකු හෝ නොමැති විය. ලබාදෙන ලද්දේ හිස් සහතික පත්රයකි. ඕන දෙයක් මේකෙ ලියාගන්න ලෙස පවසා මෙම සහතික දරුවන්ට ලබාදී ඇත. මෙම සහතික පත්‍ර‘යෙහි බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය දුශ්‍යන්ත මිත්‍රපාලගේ හා පාඨමාලා සම්බන්ධීකාරකගේ අත්සන් යොදා තිබිණි.
සහතිකයෙහි ඕනෑම එකක් ලියාගන්න මෙම කතාවෙන් පැහැදිලි වන්නේ අද රටේ පවතින අධ්‍යාපන ක්රමයේ පවතින ඛේදනීය තත්ත්වයයි. මෙවැනි පාඨමාලාකරුවන්ට, ටියුෂන් කඩකාරයන්ට, තක්කඩියන්ට කිසිදු නියාමනයක් නොමැත. වර්තමානයේ දෙමවුපියෝද කිසිදු සොයාබැලීමකින් තොරව තම දරුවන්ව පාඨමාලාවලට යොමුකරති. දැනුම, ධනය කර ගැනීමට වෙහෙස දරන මෙම සමාජය තුළ මෙවැනි විවිධ පාඨමාලා සඳහා ඇත්තේ සුවිශාල ඉල්ලුමකි.
මෙසේ පාඨමාලා හතු පිපෙන්නා සේ ඇත. මේවාට ප්‍රමිතියක් නොමැත. බොහෝ ටියුෂන් ගුරුවරුන් මුදල් උපයාගත් පසු සිදු කරනුයේ විවිධ පාඨමාලාවන් සඳහා ආයතනයක් ආරම්භ කිරීමය. ඒවාටද ප්‍රමිතියක් නොමැත. විෂය නිර්දේශයක් නොමැත. ආකෘති නොමැත. උගන්වන පුද්ගලයාගේ සුදුසුකම් නොදනී. කළ යුත්තේ එවැනි පාඨමාලා පිළිබඳ නියාමනය කිරීමය. විශේෂයෙන්ම පසුගිය ආණ්ඩු කාලයේ එවකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා තෘතීයික උසස් අධ්‍යාපන ඩිප්ලෝමා ඇතුළු පාඨමාලාවන් නියාමනය කිරීම සඳහා නියාමන ප්‍රතිපත්ති රාමුවක් සෑදීමට පිඹුරුපත් සකස් කළේය.
වෘත්තීය පුහුණු අමාත්‍යාංශයද එකතු කර ගනිමින් පාඨමාලා නියාමන ප්‍රතිපත්ති රාමුවක් (Frame Work) සකස් කිරීමට කළ මේ උත්සාහය ව්‍යර්ථ වූයේ ආණ්ඩු පෙරළියත් සමගය. දැන් කළ යුත්තේ පාඨමාලා මෙන්ම ටියුෂන් ගුරුවරුන් නියාමනය සඳහා නීති ගෙන ඒමය.
ඇතැම් ටියුෂන් ගුරුවරුන් අද අධ්‍යාපන අමාත්‍යාංශයට බලපෑම් කිරීමට තරම් ඉදිමී ඇත. උදාහරණයක් ලෙස සංඛ්‍යානය යනු ලොව පිළිගත් අතිශය වැදගත් විෂයයකි. සංඛ්‍යානය ඕනෑම විෂයයක සුළු වශයෙන් හෝ අඩංගු වේ. යුද්ධයේදී සංඛ්‍යාන විශේෂඥයන් මූලෝපායන් සෑදීමේදී අප්‍රසිද්ධ මෙහෙවරක් සිදුකරන පිරිසක් බව දන්නේ අතළොස්සක් දෙනා පමණි. උසස් පෙළ විෂයයක් ලෙස මෙය මෙරට පවතී.
බොහෝ සිසුන් සංඛ්‍යානය තෝරාගනු ලබන්නේ ව්‍යාපාර අධ්‍යයනය (Business Studies) අතහැරය. මේ හේතුවෙන් ව්‍යාපාර අධ්‍යයනය උගන්වන එක් ටියුෂන් ගුරුවරයෙකු සංඛ්‍යානය විෂය තෝරා ගැනීම අධෛර්යමත් කිරීම සඳහා විශාල ධනස්කන්දයක් අධ්‍යාපන බලධාරීන්ට පිරිනැමන බව නොරහසකි.
මෙවැනි ප්‍රමිතියක් නොමැති ගුරුවරුන් නිසා අනෙක් ගුරුවරුන්ටද වන්නේ අපහාසයකි. අමතර පන්ති තිබිය යුතුය. තරගකාරී සමාජයක් හේතුවෙන් දරුවන් යන්ත්‍ර බවට පත්ව ඇත. නමුත් උපකාරක පන්ති කරන පුද්ගලයන්ගේ ප්‍රමිතියක් තිබිය යුතුය. 2013 සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටකළ විද්‍යා ගුරුවරයා විද්‍යාව අසමත් අයෙකි. නමුත් ඔහු අදටද උපකාරක පන්ති පවත්වාගෙන යයි.
අකිල විරාජ් අමාත්‍යවරයා පැවසුවේ ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ලංකාවට ගෙන එන බවයි. නමුත් ඊට කලින් කළ යුත්තේ තක්කඩි ටියුෂන් ගුරුවරුන්, ප්‍රමිතියක් නොමැති පාඨමාලා අමාත්‍යාංශය තුළටම රිංගා සිදුකරන මේ මාෆියාවන් නතර කිරීමයි. සක්විති රණසිංහ සුදුසුකමක් නොමැතිව ඉගැන්වීම් කළා මතකය. ඔහු මුදල් උපයාගෙන මූල්‍ය ආයතන පිහිටුවා ගත්තා මතකයි. එහි මුදල් තැම්පත් කළවුන් අදටද හූල්ලමින් සිටිනවා ඔබ දැක ඇත.
ඒ කාලයේ සක්විති රණසිංහ වැනි සුදුසුකම් නොමැති ගුරුවරුන්ට ටියුෂන් කඩ කරගෙන යෑමට ඉඩ නුදුන්නේ නම්, මෙවැනි ආන්දෝලනයන් සිදුවන්නේ නැත.කළ යුත්තේ මෙයයි, පසුගිය රජය විසින් හඳුන්වා දීමට තිබූ පාඨමාලා සඳහා වන නියාමනය ගෙන ආ යුතුය. එමෙන්ම උපකාරක පන්ති ගුරුවරුන්ගේ සුදුසුකම් බලා ඔවුන්ගේ එම විෂය නිර්දේශය උගන්වනු ලබන සියලු දෑ පිළිබඳ නියාමනයක් විය යුතුය.
නැතිනම් තැෙළනුයේ දරුවන් ඉහළ තැනකට යනු ඇතැයි බලා සිටින අහිංසක දෙමවුපියන්ය. නැතිනම් අනාගතයේ දැනුම ධනය බවට පත්කර ගැනීමට සිහින දකින දරුවන්ය. අධ්‍යාපන ක්ෂේත්‍ර‘යේ උන්නතියක් හෝ දියුණුවක් දකින්නට අවැසි නම් කළ යුත්තේ මෙම තක්කඩි ගුරු මාෆියාව පරාජය කිරීමට අවශ්‍ය නියාමන පියවරක් තැබීමය.
නිපුන් ඒකනායක