ලංකාවේ පැරණිම ගුරු පුහුණු ආයතන අතර ප්‍රධාන තැනක් ගත් එදා පේරාදෙණිය ඉංග්‍රීසි ගුරු විද්‍යාලය අද පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය බවට වෙනස් වී තිබේ. රටේ හෙට දවසේ අත්පොත තබන දරුවන් වෙනුවෙන් ගුරු පුහුණුව ලබාදන මෙහි පීඨාධිපතිනිය ලෙස කටයුතු කරමින් මුල්පුටුව හොබවනුයේද කාන්තාවකි. ඇය නමින් ඕ.පී.එම්.රම්‍යා මහබෝධි මහත්මියයි.
(BA in English-Peradeniya), MA in Education and Internatinol Development - Londen, BEd-English/NIE, MA in Teacher Education/Open University, Post Graduate Dip in Education Management/NIE, Dip in ICT, )
බුලත්කොහුපිටිය, අලවතුර ගම මගේ හිතෙන් මැකෙන්නේ නැත්තේ මගේ උපන් ගම වීම නිසා විතරක් නෙවෙයි. එදා ඒ ගමේ සංස්කෘතිය මගේ ජීවිතය එක්ක අපේකමත් ඒ ගමේ පරිසරයෙන් නිර්මාණය කළ නිසයි. මගේ තාත්තා ඕ.පී.එම්. ගුණතිලක. ඔහු රැකියාව කළේ ලංකා ගමනාගමන මණ්ඩලයේ. අම්මා ගෘහණියක්. බස් තිබුණත් අපි යාළුවෝ එකතුවෙලා හැතැප්මක් විතර දුර ගැටියමුල්ල මහා විද්‍යාලයට ගියෙත් පයින්. ආවෙත් පයින්. උසස් පෙළට විද්‍යා විෂයන් හැදෑරීමට රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. මට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න තිබුණේ පුදුම කැමැත්තක්. මම හැම වෙලාවෙම ඒ ගැන උනන්දු වුණා. ඒ නිසා මම 'ඇක්වයිනාස්' ඉංග්‍රීසි පාඨමාලාවට ඉල්ලුම් කළා. මම එම ඩිප්ලෝමාව ලැබුවා. එයින් පස්සෙ ඉංග්‍රීසි ගුරු විභාගයට වාඩිවුණා.
නිකවැරටිය කඩිගාව කනිෂ්ඨ විද්‍යාලයට පළමු රැකියාව හැටියට 1984දී ගුරු පත්වීමක් ලැබුණා. ඒ ගම ඉතා දුෂ්කරයි. නතර වෙන්න තැනක් තිබුණේත් නැහැ. මිඩ්වයිෆ් නෝනා හිටපු කාමරයේ පැදුරක් එළාගෙන නිදා ගත්තා. එයින් පස්ස හල්මිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයට මාරුවක් ලැබුණා. එතැන වැඩි කාලයක් හිටියේ නැහැ. කුඹුක් වැව විද්‍යාලයට මාරුවක් ලැබුණා. ගමනාගමනය අපහසුයි. ගුරුවරු එකතුවෙලා ලෑන්ඩ් මාස්ටරයක් කතා කරගෙන පාසලට ගියා. එයින් පස්සෙ විතිකුලිය මහා විද්‍යාලයට ආවා. එතැන නම් අවුරුදු දෙකහමාරක් විතර හිටියා. එයින් පස්සේ මගේ ගම රුවන්වැල්ලට ආවා.
1986 වර්ෂයේදී විවාහ දිවියට ඇතුළු වුණා. මගේ සැමියා දිස්ත්‍රික් ඉඩම් නිලධාරිවරයෙකු හැටියට සේවය කර දැනට විශ්‍රාමිකව පසුවනවා. මම ඉගෙන ගත් රුවන්වැල්ල රාජසිංහ පාසලටම නැවත පැමිණීම ගැන සතුටට පත්වුණා. ඒ සතුට තවත් වැඩි වුණේ එදා මා පාසලෙන් අස්වනවිට එහි සිටි විදුහල්පතිතුමා එදත් එම තනතුරේ සිටීම නිසායි.
එහෙම උගන්වන අතර, 1991 වර්ෂයේදී ඉංග්‍රීසි ගුරු පුහුණුව සඳහා පේරාදෙණිය ගුරු පුහුණු විද්‍යාලයට ඇතුළත් වුණා. එයින් පස්සේ ආයෙත් රුවන්වැල්ල රාජසිංහ විදුහලේ පුහුණු ගුරුවරයෙකු හැටියට වැඩ භාරගත්තා. ගුරුවරයෙක් වුණත් පරණ අපේ ප්‍රින්සිපල් නිසා එදා කතා කරන්නෙත්, සැරවැර කරන්නෙත් ළමයෙකුට වගේමයි. බොහෝ අත්දැකීම් දැනුම ලබාගන්න ඔහු මග පෙන්නුවා. හරියට තාත්තා කෙනෙක් වගේ. ලොකු පුතා උත්පල ලැබෙන්නේ 1996දී.
ඒ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියටත් තේරුණා. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනවේදී උපාධියටත් තේරුණා. “ලැබෙන අවස්ථා හැම එකක්ම ඔබේ දියුණුවට. ඒ නිසා හැම බාධාවක් මැදින් ඒ අවස්ථාවන් භාර ගනිමු* යනුවෙන් හැමදාමත් සැමියාගෙන් ලැබෙන දිරි ගැන්වීම එදත් ලැබුණු නිසා ඒ දෙකම තෝරා ගත්තා.
මගේ අම්මා පුතා බලා ගත්තා. නැවත දරුවෙකු ලැබෙන්නට හිටියත් මම අධ්‍යාපන කටයුතු නතර කළේ නැහැ. දරුවෙකු ලැබීමට සිටිනවිට දරුවාත් කුස තුළ සිට ඉගෙන ගන්වා යැයි අපේ දේශනවලට පැමිණි ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්යක්ෂ ජනරාල් විල්ප්‍රඩ් පෙරේරා සර් නිතරම අවධාරණය කළා. එයත් මට සතුට දනවන කරුණක් වුණා. 1997 වනකොට ශක්තිනී අමායා දුව ලැබුණා. එයා දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා.
1999 විතර කාලෙ ගුරු අධ්‍යාපන සේවය ගැසට් කළා. මටත් ගුරු විද්‍යාලයක ලෙක්චර් කෙනෙක් වෙන්න තිබුණා නම් හොඳයි කියන අදහස හිතට ආවා විතරක් නෙවෙයි ඒක හීනයක් වුණා. කොහොම හරි අරමුණක් ඉලක්කයක් තිබුණු නිසාම 2000 වනවිට පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යාපීඨයේ 3 පන්තියේ කථිකාචාර්යවරියක් බවට පත්වුණා. ඒ වනවිට අවුරුදු 15ක් වෘත්තියෙන් ගුරුවරියක හැටියට වැඩ කරමින් ලබාගත් පළපුරුද්ද අත්දැකීම් මට මෙවැනි පරිසරයක යෞවනයන් සමග කටයුතු කිරීමට ලොකු අනුබලයක් වුණා. 2001 වර්ෂයේදී ලන්ඩනයට මාස්ටර් එකට යන්න වුණා. පොඩි පැටව් දෙන්නා දාලා යන්නෙ කොහාමද කියන ප්රශ්නය ආවා. ඒත් මහත්තයාගේ දිරිගැන්වීම අනුව ගියා. හැබැයි මහත්තයා පස්සෙ දරුවන් දෙන්නත් එක්ක එහෙ ආවා. ඒක මට හයියක් වුණා. මේ හැම තැනකදීම මහත්තයා කටයුතු කළ ආකාරය මට මහා අස්වැසිල්ලක් වුණා. පුතයි දුවයි අතර වයස පරතය අවුරුදු එකහමාරක් විතර. මම කවදාවත් පුතාට පෙනෙන්න දුවට මවුකිරි පෙවූවේ නැහැ. එහෙම වෙනකොට අයියාට නංගි ගැන පුංචි හිත් අමනාපයක් ඇතිවෙයි කියලා මම හිතුවා. පුතායි දුවයි එහෙ තියන පාසලකටයි මොන්ටිසෝරියකටයි දැම්මා. මහත්තයා එංගලන්තයේ රැකියවක් හොයා ගත්තා. මගේ කටයුතු අවසානයේ හස්බන්ඩ් එහෙ රැකියාව කරමින් නතර වුණා.
මම ළමයි සමග ලංකාවට ආවා. පුතා අවුරුදු දෙකෙන් බීඑස්සී පාඨමාලාව ලබාගත්තා. ඒත් එයාට ලංකාවෙ උසස් පෙළත් ලියන්න කීවා. එයා ලිව්වා. ඒ ලියනකොට එයාගේ උපාධියේ ප්‍රතිඵල ඇවිත් ඉවරයි. දැන් පුතාට අවුරුදු විසිතුනයි. ඇමෙරිකාවේ සමාගමක සේවය කරලා ඕස්ට්‍රේලියාවට ගියා. විද්‍යුත් ක්ෂේත්රයේ ඉංජිනේරුවෙකු හැටියට සේවය කරන අතර, මාස්ටර් කරනවා. මම 2018 සිට පීඨාධිපති හැටියට කටයුතු කරනවා. රැකියාව තෘප්තිමත්. ඇල්පෙනිත්තක තරම් දෙයක් හොරකම් කරලා හෝ අයථා විදිහට පාවිචිචි කරලා නැහැ. එනිසා හැම අභියෝගයකදීම නිසැක ජය ලැබෙනවා.
සාකච්ඡා සහ ඡායාරූප - ලාල් ජයසුන්දර