එකා සැමටත් සැම එකාටත් යනුවෙන්' දශක නවයක් තිස්සේ ඇසෙන සමුපකාර ව්‍යාපාරයේ මධ්‍යම පළාතේ මුල් පුටුව හොබවමින් සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ සමිති රෙජිස්ට්‍රාර් ලෙස කටයුතු කරන චමිලා අතපත්තු (SLAS), BA. මහත්මිය අභියෝග හමුවේ මුහුණදෙමින් තම කටයුතුවල නිරතවන තැනැත්තියකි.
කුරුණෑගල වාරියපොළ, වේපත්අංග, කියන සුන්දර ගම්මානයක ඉපදුණු මම ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණ 182 රැගෙන කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට ඇතුළත් වී උසස් පෙළ දක්වා ඉගෙනුම කළා. මගේ අප්පච්චි ඒ.එම්.කේ. ටිකිරි බණ්ඩාර ගොවිතැන් වැවිලි කටයුතු කළා. අම්මා ආර්.එම්. බණ්ඩාර මැණිකේ. ඇය ගෘහණියක් හැටියට කටයුතු කළා. මට සහෝදරයන් පස්දෙනයි. මම බාලයා. ඒ නිසා එකම ගැහැනු ළමයා හැටියට කාගෙත් ආදරය මට හිමි වුණා. අනෙක් පැත්තට අයියලාගේ දැඩි රැකවරණයත් මට ලැබුණා.
මට මතකයි මම පුංචි කාලේ වේපත්අංග කනිෂ්ඨ විද්‍යාලයෙන්ද, තුන්වැනි වසර සිට පාදෙණිය ශ්‍රී සුහද පාසලෙන්ද අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළ ප්‍රතිඵල එනතුරු තාක්ෂණ ආයතනයෙන් ගිණුම්කරණය සහ පරිගණක පාඨමාලා කළා. මැහුම් පන්තියකටත් ගියා. මම කවදත් කුසලතා දියුණු කර ගැනීමට ඉබේම යොමු වුණා. තරග විභාගවලට ලියන ආශාවක් නිතරම මට තිබුණා. ඒකත් හරියට මගේ තවත් ඉලක්කයක් වගේ දෙයක්. අනෙක අත්දැකීම් විඳ ගැනීමේ ආශාව. රැකියාවක් කරන ආශාව මට ඇති වුණා. ලිපිකරු විභාගයට ලිව්වා. එයින් සමත් වී කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලිපිකරු තනතුර ආශාවෙන් භාරගත්තා. ඒත් වැඩි දවසක් ඒක කරන්න බැරි වුණා.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණා. එයින් පස්සේ කොළඹට යන්න වුණා. අනතුරුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ගිණුම් ලිපිකරු තනතුර භාර ගත්තා. ඒ අතර උපාධියත් කරගන්න එපායැ. කාර්යාල වැඩ අතපසු කරන්නත් බැහැ. විභාගය ෆේල් කරගන්නත් බැහැ. හැබැයි එහෙම කියලා එක නෝපේ එකක්වත් මම අරගත්තේ නැහැ. රැකියාව කළා. දරා ගැනීම සහ ඉලක්කය ගැන නිතර හිත යොමු කළා.
පාසල් ප්‍රේමය වැනි දේ මට තිබුණේ නැහැ. මගේ ඉලක්කය තිබුණේ විශ්වවිද්‍යාලයට යෑම. ඒ අදහස තවතවත් වැඩි කළේ අප්පච්චි. උපාධියෙන් පස්සේ 2005 කුරූණෑගල මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මාරුවක් ලැබුණා. ඒ අතර උපාධිධාරී ගුරු තරග විභාගයත් ගැසට් වුණා. බෝඩ් කෑලි අල්ලාගෙන රැකියා දියව් කියන තරගය වෙනුවට සුදුසුකම් අනුව තියෙන රැකියාවන්ට අයදුම් කළා. ගුරු පත්වීම බයව කනිෂ්ඨ විද්‍යාලයට ලැබුණා. ශ්‍රී ලංකා පරිපාලන විවෘත තරගයට 2006දී ලියුවා. අවුරුදු 27 වෙනකොට රාජ්‍ය පරිපාලන සේවයට පත්වුණා. ඒ මගේ පැහැදිලි ඉලක්කය නිසයි.
පළමු පත්වීම දුෂ්කර පළාතකට ඉල්ලුවා. ඒ අනුව උතුරු මැද පළාත් සභාවට ආවා. මට අවශ්‍ය වුණේ පිටතට වෙලා යුද්ධය ගැන කතා කළාට ඒ කටුක අත්දැකීම් විඳින මිනිසුන් එක්ක ඒ අයගේ අවශ්‍යතා වෙනුවෙන් රස්සාව කරන්නයි. මම කලක් උතුරු මැද පළාතේ සහකාර සමුපකාර කොමසාරිස් සහ පොළොන්නරුව සහකාර පළාත් පාලන කොමසාරිස් ලෙස අලුත් අත්දැකීම් ගොඩක් එකතු කර ගත්තා.
ප්‍රාදේශීය පරිපාලනයට මම ආසා කළා. 2008 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා නාඋල ප්‍රාදේශීය ලේකම් බවට පත්වුණා. හරිම සුන්දර අවස්ථාවක්. ගැමියන් සමග විතරක් නෙවෙයි. මොරගහකන්ද වගේ යෝධ ජාතික ව්‍යාපාර සමග කටයුතු කිරීමට එහිදී අවස්ථාව ලැබුණා. මගේ කාලයේදී එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජාතික ඵලදායිතා පළමු ස්ථානයට තේරුණා.
එයින් පස්සේ 2012 වර්ෂයේදී ගලේවෙල ප්‍රාදේශීය ලේකම් හැටියට යනවා. ඒ වනවිට පරිපාලන සේවයේ 3 වැනි ශ්‍රේණියට පත්වුණා. අවුරුද්දක් ඇතුළත එය ......... තුන්වැනි ස්ථානයට පත්වෙනවා. අනතුරුව ද්විතීයික පදනම යටතේ %හදබිම අධිකාරියේ^ නි.අධ්යක්ෂ තනතුරටත්, එයින් පස්සේ මේ තනතුරටත් පත්වුණා.
මම මගේ සහකරු තෝරා ගත්තේ උපාධියත් සමත් වී, රැකියාවක්ද ලැබුණාට පස්සේ. ඉගෙන ගතයුතු කාලෙ ඉගෙන ගත්තා. ඉලක්කයක් සම්පූර්ණ වුණාම නියමිත කාලෙ විවාහය තෝරා ගත්තා. දෛවය විසින් යම් තැනක් නියම කර තිබෙනවා නම්, ඉලක්කයත් අධිෂ්ඨානයත් තිබුණොත් ඒක වළක්වන්න කාටවත් බැහැ. සුදුසු කාලයේදී, සුදුසු තැනකදී, ලබාගෙන තියෙන සුදුසුකම් අනුව සුදුසු පුද්ගලයෙකු මුණගැහෙයි කියන විශ්වාසය මට තිබුණා.
මගේ මහත්තයා විදුලි ඉංජිනේරුවෙකු වන ධම්මික දුලේන්ද්‍ර හේරත්. එයා දැන් එයින් ඉවත් වෙලා ව්‍යාපාරික කටයුතුවල යෙදෙනවා. අපිට දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව ඔනෙරා මහනුවර උසස් බාලිකා විද්‍යාලයයේ හය ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. පොඩි දුව නෙකුමි ඒ පාසලේම ඉගෙන ගන්නවා.
මට අත්දැකීම් විඳීමේ ආශාවක් තියෙනවා. හේතුව ජීවිතය යථාර්ථයක් කරන්නේ අත්දැකීම් නිසා. අද ඇතැම් කාන්තාවන් දරු උපතකදී වුණත් සිසේරියන් සැත්කමට යොමු වෙනවා. එයට බලපෑ විශේෂ හේතුවක් නැහැ. නමුත් මම මගේ දරුවන් දෙදෙනාම බිහි කළේ සාමාන්‍ය ක්‍රමයටයි. මගේ අම්මා මා වෙනුවෙන් විඳි වේදනාව නිසා ඇයට උපහාරයක් හැටියට ඒ අත්දකීම විඳ ගැනීමට මගේ හිත මට කියුවා. අපිට අපි ගැන ඒ ආත්ම විශ්වාසය, ශක්තිය තිබිය යුතුයි. මේ දුර්ලභ වාසනාව ලැබෙන්නේ කාන්තාවට පමණයි.
අපි රක්ෂාව කළත්, කාන්තාවන් හැටියට දරුවන්ගේ කටයුතු, පවුලේ ඥාති සම්බන්ධතා, ගමේ පොදු වැඩ, පන්සලේ දාන පින්කම් යන මේ හැම දෙයක්ම කළ යුතුයි. අපට මේ ජීවිතයෙන් පලායන්න බෑ. ඒ අත්දැකීම් අපිව ජීවත් කරවනවා. ව්‍යාපාර කටයුතු සඳහා මගේ ස්වාමියා නිතර විදේශ ගතවෙනවා. මම තනිවම දරුවන් සමග කටයුතු කර ගන්නවා.
බුදු දහම තුළ කාන්තා විමුක්තිය තියෙනවා. කාන්තාවන්ට නිසි තැන, සම තැන, ඔය කියන හැම අයිතියක්ම අපේ සංස්කෘතිය තුළ තිබෙනවා. එහෙම නැත්නම් අද රටේ මුල් පුටුවලට මේ තරම් කාන්තාවන් පත්වෙන්නේ නැහැනේ. නමුත් නොහැකියාව තියෙන අයයි, සමහර අලුත් පන්තියේ කියලා හිතන අයයි තමන්ගේ ඒ නොහැකියාව වහගන්නට ව්‍යාජ කාන්තා විමුක්තියක් ඉස්සරහට දාගන්නවා. බටහිරෙන් ඒවා මාර්කට් කරනවා.
සමුපකාරය කියන්නේ නිදාගෙන ඉන්න යෝධයෙක්. එයා අවධි කළ යුතුයි. මේ තනතුරට කාන්තාවන් බය වුණත් මම එයට කැමති වුණා. අභියෝග නැතිවා නොවෙයි. සමහර තැන්වල කෝටි ගණන් මුදල් වංචා මම හොයාගෙන තියෙනවා. මම සමස්තයක් හැටියට දකින්නේ කාන්තාව පිරිසුදුවට, ලස්සනට, ප්‍රසන්නව ජීවත් විය යුතුයි කියන මතයයි.
සාකච්ඡා සහ ඡායාරූප - ලාල් ජයසුන්දර