පූර්ණිමා මීගම්මන නමැති ඇය තවමත් තාරුණ්‍යයේ පසුවන්නීය. නමුත් ඇය ගමන්කර ඇති දුර මෙරට සිටින සියලුම කාන්තාවන්ට ආදර්ශයක් නිසාවෙන් මෙලෙස ‘Wonder Woman' කවරය සරසන්නට ඇය එක්වන්නීය.
පූර්ණිමා මීගම්මන කියන නම ලංකාවේ මාධ්‍යයන්හි පළවෙන්නේ 2013 / 2014 වගේ කාලයේදීයි. ඒ මම දායකත්වය දැක්වූ ‘Respect girls on Internet' කියන ව්‍යාපෘතිය නිසයි. මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබන්නේ සයිබර් අවකාශය හරහා ගැහැනු ළමුන්ට සිදුවන හිංසනය වළක්වා ගැනීම වෙනුවෙනුයි.
අපිට මෙම ව්‍යාපෘතියට ‘Beyond the Net' නම් අන්තර්ජාල සමූහයෙන් ආධාර ලැබුණා. මෙම ව්‍යාපෘතිය අපි කරගෙන යද්දී මම ‘Queens Young leaders' කියන සම්මානය සඳහා ඉල්ලුම් කළා. ඒ අනුව එහි අනුශූරතාවය හිමිවුණා. එම ව්‍යාපෘතියට තවත් ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම් ලැබුණා. මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හේතුවක් වුණේත් පෞද්ගලිකව මම අත්විඳපු සිදුවීමක්. පාසල් සිසුවියක්ව සිටියදී මම සයිබර් හිංසනයකට ලක්වුණා. මගේ අම්මයි තාත්තයි දෙන්නම IT Field එකේ සේවය කරන්නේ. ඉතින් ඔවුන් දැනගෙන සිටියා මෙවන් සිදුවීමක් වුණාම මොකක්ද කරන්න අවශ්‍ය කියලා. 2011 නුවර ‘Youth Empowerment Society' නමින් තරුණ සමාජයක් තිබුණා.
මම එහි සභාපති විදිහටයි වැඩ කළේ. අපි තරුණ කණ්ඩායමක් නුවර නගර සභාවත් එක්ක එකතුවෙලා සමාජ සේවාවන්ට දායක වුණා. එහෙම වැඩකරද්දී මගේ සිදුවීම තරුණ කණ්ඩායම් අතර බෙදාගන්න කොට, බොහෝ තරුණ අය මේ ආකාරයේ සයිබර් අපරාධවලට නැත්නම් සයිබර් හිංසනයට ලක්වුණත් ඒවාට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව දැනුම්වත් නොවන බව මම දැක්කා. ඒ කාලයේ දෙමවුපියන්ට ෆේස් බුක් සමාජ මාධ්‍ය ගැන එතරම් දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා බොහෝ දෙනා එවැනි හිංසනයකට ලක්වුණාම නිශ්ශබ්දව ඒවා විඳ දරා ගැනීමයි සිදුවුණේ. ඒ අනුව තමයි අපි ‘Respect girls on Internet' කියන ව්‍යාපෘතිය ආරම්භ කළේ. එයට ISOC (The Internet Society) එකෙන් අනුමැතිය අපිට ලැබුණා.
මගේ වෘත්තිය ගැන කිව්වොත් මම ‘Animator' කෙනෙක්. මම ‘3D Animation' සිදුකරනු ලබනවා. ඒ වෙනුවෙන් මගේම ආයතනයක් පවත්වාගෙන යනවා Inzperia International (pvt) Ltd නමින්. ඊට අමතරව NIBM හා ‘AOD' කියන ආයතනවල කථිකාචාර්යවරියක (lecturer) ලෙස සේවය කරනවා. මා උගන්වන්නේ Animations, Visual Effects හා Filming යන විෂයන්.
මගේ සමාජ සත්කාරයක් විදිහට තමයි ‘Respect Girl' ව්‍යාපෘතිය ඇතුළු අනෙකුත් ව්‍යාපෘති සිදුකරනු ලබන්නේ. මේ ව්‍යාපෘතියෙන් පසු මම ‘Digital rainbow' , ‘girls In technology', ‘Next Gen' කියන ව්‍යාපෘති එක්ක එකතුවෙලා වැඩකටයුතු සිදුකරනු ලබනවා. ඒ හරහා තාක්ෂණික ලෝකයට තරුණ තරුණියන් විශේෂයෙන් තරුණියන් යොමු කර ගැනීම සඳහා විශේෂ ව්‍යාපෘතීන් විශ්වවිද්‍යාල හා පාසල් සමග එකතු වෙලා සිදුකරනු ලබනවා.
අපේ වගේ රටවල තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්රවලට ගැහැනු ළමයි යොමු වෙනවා අඩුයි. අපේ ව්‍යාපෘති හරහා අපි දැක්ක දෙයක් තමයි තවමත් අපේ රටේ ගැහැනු ළමයි මේ තාක්ෂණික අධ්‍යාපනය ලබන්න යම්කිසි බියකින් පසුවන බව. එසේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා රැකියා වෙළෙඳ පොළේ පවතින ඉල්ලුම අතර යම්කිසි Gap එකක් තිබෙන බව අපි හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අපි ක්‍රියාත්මක කරන ‘girls In technology, Next Gen' කියන ව්‍යාපෘතිවලින් විශ්වවිද්‍යාල සිසුන්ට යම්කිසි වෘත්තීයමය අධ්‍යාපනයක් ලබාදෙනු ලබනවා.
මේ කටයුතු යම්කිසි දැක්මක් හා නිසි ක්‍රමවේදයකට සිදු වෙනවානම් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට ගැහැනු ළමුන් බියකින් තොරව යොමුවේවි. තාක්ෂණික ලෝකයට එකතුවන ගැහැනු ළමුන් අඩු වීම සමස්ත ලෝකයම මුහුණ දෙන ගැටලුවක්. ඒ නිසාම ලෝකයේ බොහෝ රටවල්වල ගැහැනු ළමුන් තාක්ෂණික ලෝකයට ගෙන ඒම කෙරෙහි විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරනු ලබනවා.
ගැහැනු ළමයෙක් ලෙස තාක්ෂණික ක්ෂේත්රයකට යොමු වෙන්න අඩිතාලම මට වැටුණේ මගේ දෙමවුපියන් නිසයි. ඔවුන් ලෝකයේ වෙනස්වන තාක්ෂණයන් සමග කටයුතු කරන දෙන්නෙක්. මම සාම්ප්‍රදායික ගැහැනු ළමයෙක් විදිහට නැතිව තාක්ෂණයත් එක්ක ඉදිරියට යන එක ගැන ඔවුන් සතුටු වුණා. කවදාවත් මේ ක්ෂේත්රයට යන්න කියලා ඔවුන් බල කළේ නැහැ. අපි කැමති දෙයට යොමු වෙන්න ඔවුන් අපිට සහය දැක්වූවා. සමාජ සේවාවලට යොමු වුණෙත් ඔවුන් දෙන්නා නිසයි. අදට වුණත් මගේ ව්‍යාපාරයේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස අම්මයි තාත්තයි වැඩ කරනවා. අපි වෙනස් දේවල් කරද්දී සමාජයෙන් එල්ල වුණ ඇතැම් විරෝධතාවලදී අධ්‍යාපනයයි, සමාජසේවයයි දෙකම සමබර කරගෙන ඉදිරියට යන්න අම්මයි තාත්තයි ගොඩාක් අවබෝධයෙන් යුතුව කටයුතු කළා.
සාමාන්‍යයෙන් සමවයසේ ගැහැනු ළමයෙක් එක්ක සසඳලා බැලුවම මගේ විශේෂත්වය ලෙස දකින්නේ ක්ෂේත්රයන් රැසක කටයුතුවල නිරත වීමයි. බොහෝ ගැහැනු ළමුන් කරන්නේ එක් ක්ෂේත්රයක් තෝරාගෙන එයින් ඉදිරියට යෑම. නමුත් මම ක්ෂේත්‍ර කිහිපයක වැඩ කරනවා. කථිකාචාර්යවරියක් විදිහට මම වෘත්තියක නියැළෙනවා. ඒ වගේම Animation පැත්තෙන් ෆිල්ම් වගේ දේවල් කරනවා. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අවස්ථාවක් ලැබුණොත් එය බැහැයි කියලා අතඅරින කෙනෙක් නොවෙයි. කුඩා කාලයේ ඉඳන්ම පහසු වාතාවරණයේ (Comfort Zone) සිට කටයුතු කරන කෙනෙක් නොවෙයි. එයින් ඔබ්බට ගමන් කළ නිසයි මට බොහෝ දේවල් කිරීමට හැකි වෙලා තිබෙන්නේ. බය නැතිව අවදානම් බාරගත් නිසා මට ලැබුණු අවස්ථාවන් බොහෝමයි.
මට වයස අවුරුදු 26යි. මෙවැනි වයසකදී මෙවැනි ගමනක් ආවේ මගේ දෙමාපියන්ගේ ආශීර්වාදය නිසයි. ඒ වගේම මට හැමදාම හොඳ කණ්ඩායමක් හමුවුණා. වෙන අය වෙනුවෙන් කරන දේවල්වලින් ලබන සතුට, මම වෙනුවෙන් දෙයක් කරගෙන ලබාගන්නා සතුටට වඩා මා අගය කරනවා. කරන කටයුතු මෙතරම් සාර්ථක කරගන්න මට පුළුවන් වුණේ ඒ නිසයි. සමාජ සද්කාර්යයන් තුළින් ලබන සතුට වෙන දේවලින් ලබාගන්න මට බැහැ.
මගේ ජීවිතයේ කවදාවත් දිගුකාලීන අරමුණු තිබිලා නැහැ. මගේ ජීවිතයේ ගමන්කරන මාවත මම හඳුනාගෙන තිබෙනවා. කවදා හරි මේ තැනට යනවා කියලා මමදීර්ඝ කාලීන අරමුණු හදාගන්නේ නැහැ. මම කරන්නේ මට ලැබෙන අවස්ථාවන් අනුව මීළඟට මම මොකක්ද කළ යුත්තේ කියලා සැලැස්මක් හදා ගැනීමයි. ලැබෙන අවස්ථාවන් අනුව කෙටිකාලීන ඉලක්ක හදාගෙන ඒවා සාර්ථක කර ගැනීමයි මම සිදුකරන්නේ. මගේ ව්‍යාපාරයේ කටයුතු හොඳ තැනකට ගේන්න මගේ අරමුණක් තියෙනවා. ඒ වගේම ඉගැන්වීම් කටයුතු මම හරිම සතුටින් කරන්නේ.
මම කටයුතු කරන්නේ %Art and Technology^ කියන දෙකේ සංකලනයක් තුළයි. ඉතින් සමාජයේ තිබෙන විවිධ මත නිසාම ගැහැනු ළමයින්ට මේ Field එකේ යමක් කරන්න බැහැ කියන ආකාරයේ සිදුවීම්වලට මුහුණ දී තිබෙනවා. නමුත් කියන්න ඕන ගැහැනු ළමයි කියලා අපේ හැකියාවන් අවතක්සේරු කළ යුතු නැහැ. තාක්ෂණික ලෝකයේ ඉදිරියට ගිහින් විශාල සේවාවන් කළ ගැහැනු චරිත ඕනෑ තරම් තිබෙනවා.
අපි ආසාවෙන් මෙවැනි ක්ෂේත්රයකට යොමු වෙලා අපේ හැකියාවන් දියුණු කරගෙන යම් කිසි තැනකට ආවම අපිට පුළුවන් මොනවද කියලා බලන්නේ නැතිව ගැහැනුකම නිසා අපිව නොසලකා හරින අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවලදී ඇත්තටම කනගාටුවක් ඇතිවෙනවා.
අපේ රටේ සංස්කෘතිය අනුව ගැහැනු ළමයින්ට වෙනස් කොට සලකනවා. විශේෂයෙන් ගැහැනු ළමයෙක් වැඩිවියට පත්වුණාම තහංචි දානවා. ගැහැනු ළමයින්ව පවුල තුළින්ම මෙලෙස කොටු කිරීම තුළින් තමයි සමාජයේ ගැහැනු ළමයින්ට වෙනස් කොට සැලකීම කියනදේ පටන් ගන්නේ. එසේ නොමැතිව ගැහැනු ළමයින්ටත් සමාන අවස්ථාවන් ලබා දෙනවා නම් ගැහැනු ළමුන් සමාජයේ ඉහළ තලවලට ගමන්කරන එක නවත්වන්නට බැරිවේවි.
නදීශානි පතිරණ / ජායාරූප සරසි නෙත්මිණී