ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන අතර පේරාදණිය, හග්ගල, ගම්පහ, හෙනරත්ගොඩ වශයෙන් නම් කියවෙන විට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස ඇයගේ නමට සුවිශේෂී තැනක් හිමි වේ. ඇය මෙරට උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධුරයට පත් පළමු කාන්තාවද වෙයි. ඒ මල් සහ පැළෑටි සමග රාජකාරිය කරන ආචාර්ය සෙලෝමි අරුණාචලම් ක්‍රිෂ්ණරාජ් මහත්මියයි. (Bsc.Botany),M.Sc(Plant Biotechnology), Ph.D (Biotechnology and Molecular Bilogy), Bsc. (University OF London,) BLD .(Haryaue Agriculture University )
යාපනයේ උපන් මගේ දෙමවුපියන් තමන්ගේ රාජකාරි කටයුතු නිසා මහනුවරට ආවා. ඒ නිසා මම උපන්නේ මහනුවර. මගේ තාත්තා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පාංශු සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ විශේෂඥවරයෙක්. අම්මා මහනුවර ගුඩ්ෂෙපර්ඩ් කොන්වර්ට් එකේ උගන්වලා තියෙනවා. මම 1969දී මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ පළමු පන්තියට ඇතුළත් වෙනවා. එහි උසස් පෙළ දක්වා ඉගෙනුම කළා. පාසල් කාලයේ මම එලකියුෂන් ගැන වැඩි උනන්දුවක් දැක්වුවා. එය මට ප්‍රියජනක දෙයක්. ඒ වගේම මම පාසලේ කථික තරගවලට ඉදිරිපත් වුණා. ජය ගත්තා. බටහිර වාදන කණ්ඩායම වගේම පාසලේ ගායක කණ්ඩායමෙත් හිටියා. මම පොතපතට ඇබ්බැහි වුණු කෙනෙක්. උසස් පෙළ විභාගයෙන් සමත් වුණා. උද්භිද විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියකට ඉන්දියාවට ගියා. ඒ උපාධිය අවසන් කර ලංකාවට ආවා. ඒ කාලෙ උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවක් තිබුණේ නැහැ. මල්වත්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතනයක් හැටියට තිබුණා. ලංකාවට ඇවිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහකාරවරයෙකු ලෙස පත්වීමක් ලැබුණා.
එහෙම වැඩ කරනකොට 1988දී මට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේම මල් වගාව සම්බන්ධයෙන් පර්යේෂණ නිලධාරිනී තනතුරක් ලැබුණා. මල් සමග ගතකරන ජීවිතය සුන්දර එකක්. ඒ මානසික සතුට සමග මම මල් වගාව සම්බන්ධ නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස 2008දී පත්වෙනවා. ඒ කටයුතු කරගෙන යන අතර ඊළඟට අධ්යක්ෂ, පර්යේෂණ තාක්ෂණ සහ ප්රචාරක තනතුර භාර ගන්නවා. පැවරුණු රාජකාරි ගැන තෘප්තිමත්ව කටයුතු කළා. 2018දී අධ්යක්ෂ ජනරාල් තනතුරට පත්වුණා. මම තව අවුරුදු තුනකින් පමණ විශ්‍රාම යනවා. එතකොට මගේ සේවා ජීවිතයට අවුරුදු 32ක් විතර සම්පූර්ණ වෙලා. තෘප්තිමත් රැකියාවක් ලැබීම ගැන සතුටට පත්වෙනවා. මගේ ජීවිත කාලයේ පර්යේෂණ නිලධාරිනියක ලෙස සේවය කරන අතර, පුහුණු පන්ති කළා. ඒ අතර ජාතික රූපවාහිනිය ඔස්සේ අවුරුදු දෙකක් ඒ කියන්නේ මගේ මතකය හැටියට 2000 කාලයේ සිට මලක මහිම නමින් මල් වගාව ගැන වැඩසටහනක සම්පත්දායකයෙකු හැටියට කටයුතු කළා. 2005 විතර කාලෙ මල් ගැන ජනතාව අතර එතරම් උනන්දුවක් තිබුණේ නැහැ. හිටපු අධ්යක්ෂ ජනරාල් සිරිල් විජේසුන්දර මහතා ඒ කාලේ ආරම්භ කළ සුවහස් මල් වැඩසටහන වෙනුවෙන් මම වගකීම භාරගත්තා.
මල් වගාකරුවන් සංවිධානය කර ඔවුන් ශක්තිමත් කිරීමේ එම ව්‍යාපෘතියට දායක වීමට මට අවස්ථාව ලැබුණා. හැමදාම මිනිසුන් සමග මල් ගැන කතා කරන එක සුන්දර රැකියාවක්. මම 1994දී එම්එස්සී විභාගය කරන්න ඉන්දියාවට ගියා. ඒ කාලෙ ලංකාවෙ ලොකුම මල්වත්ත හැටියට කවුරුත් දන්නේ පේරාදෙණිය මල්වත්ත ගැන පමණයි. පීඑච්ඩී එක කරන්න 2004දී ඉන්දියාවට යනවා. මම එතෙනදි ජෛව තාක්ෂණය සහ මල් පඨක රෝපණය ගැන හැදෑරීම් කළා. 2005 ආරම්භ කළ සුවහස් මල් ව්‍යාපෘතිය මුල් අවස්ථාවේ මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වලට පමණක් සීමා වුණා. ඒත් එය මේ වනවිට රට පුරා පළාත් නවයක දිස්ත්‍රික් 25ක් පුරාවට ව්‍යාප්ත කර අවසානයි.
මම අවිවාහකයි. මගේ මව මිය ගිහින්. දැන් තාත්තා සමග නුවර ජීවත් වෙනවා. විවාහයක් නොවුණා කියලා ජීවිතයේ හුදකලා බවක් දැනෙන්නේ නැහැ. ලැබෙන විවේකය පොතපත කියවීමට ගත කරනවා. දවසේ රාජකාරි කටයුතු උදේ අට වෙනකොට පටන් අරගෙන ඉවරයි. හවස පහ විතර වෙනකම් කාර්යාලයේ ගත කරනවා. හවසට ගෙදර යනවා. කෑමට මොනවා හරි හදාගන්නවා. අපි දෙන්නයිනේ. තාත්තා එක්ක කතාබහක යෙදෙනවා. දවස හුදකලා වෙලා නැහැ. විවේකය නම් අඩුයි. ලැබෙන විවේකයේදී පල්ලියේ වැඩවලට සම්බන්ධ වෙනවා. අඩුම තරමින් සතියකට දෙවරක් ක්ෂේත්‍ර චාරිකා තියෙනවා.
මම නුවර ගෙවන ජීවිතයේ අවුරුදු තිහක්ම ජීවත්වෙලා තියෙන්නේ කුලී ගෙයක. මේ තනතුරට පත්වුණාට පස්සේ 2018 අවසානයේ මට නිල නිවසක් ලැබුණා. ඒත් මම කවදාවත් එහෙම නිල නිවාස ඉල්ලා තරගයක යෙදිලා නැහැ. මම තනතුරු ඉල්ලා කාගෙවත් පස්සෙ ගිහිල්ලත් නැහැ. ලැබෙන දේ ලැබෙන වෙලාවට භාරගත්තා.
මම උදවු උපකාර කළයුතු අයට මගේ රාජකාරිය තුළ හැමවිටම ඒ වෙනුවෙන් මැදිහත්වෙලා තියෙනවා. කිසිම අවස්ථාවක රාමුවකට යටත්වෙලා නැහැ. නමුත් රාජකාරි අණපනත්වලට ගරු කළා. අවංකව රාජකාරියට වගවීමෙන් කටයුතු කළොත් අපිට වරදින්නේ නැහැ.
සමහරු රැකියාවන් හොයනවා. එතනට ආපු ගමන් මේසයක්, කැරකෙන පුටුවක්, ලැප්ටොප් එකක්, කොම්පියුටරයක්, වාහනයක්, නිල නිවාසයක් ගැන හිතනවා. තියෙන ඉඩක රැඳිලා තමන්ට පැවරුණු රාජකාරිය කළා නම් ලැබිය යුතු දේ නියම වෙලාවට ලැබෙයි. තිස් අවුරුදු රැකියාවක මගේ වෘත්තීය අත්දැකීම තුළ මා ලද අත්දැකීම එයයි.
සාකච්ඡා සහ ඡායාරූප - ලාල් ජයසුන්දර