නව අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් සහ පාර්ලිමේන්තු ක්රියාකාරීත්වයක් සමග ප්‍රචණ්ඩත්වයෙන් තොර දේශපාලන හා සමාජ ස්ථාවරත්වයක් ගොඩනැගෙමින් පවතින බැවින් දැනට අධිපති ධුරයෙන් ඉවත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් පැවතියහොත් තමා අධිපති ධුරයෙන් ඉවත් වන බවට පසුගිය 11දා පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළද දැනට නිවැරදි මාවතකට ප්‍රගතියක් ඇති බව තමා දකින්නේ යැයි අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළේ, මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම්දීම සම්බන්ධයෙන් ඊයේ (19දා) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිපතිවරයා,
"මම ගිය අවස්ථාවේ ප්‍රකාශ කළේ ඒ අවසථාවේ තිබුණු දේශපාලන අස්ථාවරත්වය දිගටම එහෙම පවතිනවා නම්, මහ බැංකුවක් වශයෙන් මොනම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළත් ඒක සාර්ථකව ක්‍රියාත්මක නොවන බවයි. එතකොට මම නෙවෙයි, කවුරු වුණත් ඒ කාර්ය කරන්න අමාරුයි. ඒ නිසා එවැනි අවස්ථාවක මම තනතුරේ රැදී සිටින්නේ නැහැ කියලා තමයි, ඒ වෙලාවෙ, ඒ තත්ත්වයේදී ප්‍රකාශ කළේ.
එතකොට එදා තිබූ තත්ත්වය සහ අද තිබෙන තත්ත්වය බලද්දි, දැනට යම්කිසි ආකාරයක පාර්ලිමේන්තුවේ අගමැතිවරයෙක් පත්කරලා. කැබිනට් මණ්ඩලයක් පත්කරලා. එදා කැබිනට් මණ්ඩලයක් තිබුණෙත් නැහැ. අගමැතිවරොත් අස්වෙලා හිටියේ. ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය හිටියාට යම්කිසි ක්‍රියාදාමයක්, පරිපාලනයක් තිබුනේ නැහැ. නමුත් අද යම්කිසි ආකාරයක අගමැතිවරයෙක් සිටිනවා. කැබිනට් මණ්ඩලයක් තිබෙනවා. මුදල් අමාත්‍යවරයෙක් පත්විය යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තුව රැස් වෙනවා. එතකොට අපට අවශ්‍ය කරන යම්කිසි නීතී ක්‍රියාත්මක කරන්න කැබිනට් මණ්ඩලයක් පවතිනවා.
මීට අමතරව, එදා ඉඳන් අද වනවිට බලද්දි, ඒ වගේම රටේ තිබුණු ප්රචණ්ඩත්වය සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා සාමකාමී තත්ත්වයක් රටේ පවතිනවා. සාමකාමී විරෝධතා පැවැත්වෙන්න පුළුවන්. ඒවා එදත් තිබුණා, අදත් තිබෙනවා. දේශපාලන හා සමාජ ස්ථාවරත්වයට ඒවායෙහි කිසිම ගැටලුවක් නැහැ. එහෙම බැලුවාම දැනට ලොකු යම්කිසි නිවැරදි මාවතකට ප්‍රගතියක් තියෙනවා කියන එක තමයි, මම දකින්නේ. නමුත් එදා ඒ ආකාරයෙන්ම තව සතියක් දෙකක් තිබුණා නම් මම හිතන්නේ, රට ගොඩ ගන්න බැරි තත්ත්වයකට පත්වෙනවා. නමුත් දැන් අපි බැලුවාම තේරුම් ගන්න හැටියට අපිට පේනවා, අපේ පාර්ලිමේන්තුව වුණත් කවුරුත් එකතු වෙලා යම්කිසි දෙයක් කරන්න ඕනෑ කියන මතයකට එනවා වගේ පෙනුමක්. යම්කිසි පැහැදිලිව ඒ පැත්තට ගමන් කෙරෙන බවකුත් පෙනෙනවා. ඒ වගේම, බහුතරයක් ඉල්ලීමකුත් කළා මම ඒ ප්‍රකාශය සිදුකළාට පස්සේ, යන්න එපා කියලා. ඒක වෙනම මගේ පුද්ගලික මතයක්. මම හිතන්නේ මම කරපු ප්‍රකාශය අනුව ඒ තිබුණු වාතාවරණයට වඩා යම්කිසි ප්‍රගතියක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නෙ නෑ, එදා කිව්වා වගේ ඉවත් වෙන්න අවශ්‍යතාවක් තියෙනවා කියලා." යැයි පවසා සිටියේය.
පොලී අනුපාත හා උද්ධමන තත්ත්වය
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (18දා) පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 13.5%ක් හ 14.5%ක් ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව මෙහිදී සඳහන් විය. දේශීය සැපයුම් හිඟය, ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම, රුපියලේ සිදුවූ විශාල අවප්‍රමාණය වීමේ බලපෑම් නිසා නුදුරු කාලීනව උද්ධමනය ඉහළ අගයක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇතත්, 2022 අප්‍රේල් මස 08 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ සැලකිය යුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මෙන්ම, සමස්ත ඉල්ලුම් පීඩන ඇතිවීම වැළැක්වීම සඳහා ගනු ලැබූ අනෙකුත් ක්‍රියාමාර්ග මගින් ඉදිරි කාලයේදී තවදුරටත් උද්ධමන අපේක්ෂා ඇතිවීම අවම කිරීම සහ උද්ධමන පීඩනය ලිහිල් කිරීම අපේක්ෂා කරන බවද මුදල් මණ්ඩලයේ අදහස වී තිබේ.
විනිමය අනුපාතිකය තව අඩුවෙයිද?
"මෙය පාවෙන විනිමය අනුපාත තත්ත්වයක්ම තමයි, රඳවාගෙන සිටීමක් නැහැ. මෙහි දවසින් දවස පොඩි ප්‍රමාණයකින්, එනම් ශත 10ක්, ශත 20ක් වශයෙන් අඩුවීමක් සිදුවෙනවා. යම් ස්ථාවරත්වයකට පැමිණි පසුව, මීට වඩා වැඩි වේගයකින් මේක අඩුවේවි. වෙළෙඳපොළේ තියෙන ඉල්ලුම සැපයුම අනුව නම්යලීතීත්වයක් සහිතවයි, විනිමය අනුපාතිකය ක්‍රියාත්මක වන්නේ." අධිපතිවරයා සඳහන් කළේය.
2022 මැයි මස මැද සිට අන්තර් බැංකු එතැන් විනිමය අනුපාතිකය තීරණය කිරීමේදී මහ බැංකුව විසින් සියලු බලපත්‍රලාභී බැංකුවලට ලබාදෙනු ලැබූ මගපෙන්වීම් මගින් දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළෙහි වන අධික විචලන අවම කරගැනීමට අපේක්ෂා කරයි. මෙම මගපෙන්වීම් මෙන්ම, මෑතකාලීනව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීම, විවෘත ගිණුම් කොන්දේසි මත ආනයන සීමා කිරීම සහ බැංකු විසින් මහ බැංකුවට අනිවාර්යය විදේශ විනිමය විකුණුම් කරනු ලබන අනුපාතය අඩුකිරීම මගින් ශ්‍රී ලංකා රුපියල මතවන පීඩනය ලිහිල් කරනු ඇතැයිද, දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළේ ද්රවශීළතාවද ක්‍රමයෙන් වැඩිදියුණු වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
ප්‍රේෂණ වගේම, විනිමය ඉපැයීමත් වැදගත්
"ප්‍රේෂණ ධෛර්යමත් කිරීමේදී, පළමු වැනි කාරණය හැටියට බ්ලැක් මාකට් එකේ වැඩිපුර රු.40ක් දෙනකොට ඒ අය බැංකුව හරහා එවයි කියා බලාපොරොත්තු වෙන්න බැහැ. පළමු වැනි ධෛර්මත් කිරීම තමයි, බ්ලැක් මාකට් එකේ තියෙන වැඩිපුර රු.40, බින්දුව කිරීම. දැන් ඒක සිදුවී තිබෙනවා. මේ නිසා අවදානමක් සමග ඒ ක්‍රමවලටම එවනවාද, බැංකු ක්‍රමය තුළින් එවනවාද කියන දේ විදෙස් ශ්‍රමිකයන්ට තෝරාගත යුතුයි. බැංකු ක්‍රමය තුළ ඩොලරයට කලින් රු.200ක් ලැබුණු මුදල දැන් රු.360ක් ලැබෙනවා. එය සෑහෙන ප්‍රමාණයක වැඩිවීමක්. ප්‍රේෂණ වගේම, විදේශ විනිමය ඉපැයීමේ මාර්ගය වැඩිකිරීම තමයි, දෙවැනි කාරණය. අපනයනවලින් මාසයකට ඩොලර් බිලියනයක් ලැබෙනවා. එය බිලියන 1.2ක් කළොත් රු.මිලියන 200ක් වැඩිවෙනවා. තොරතුරු තාක්ෂණ, නැව් සේවා, සංචාරක ව්‍යාපාර ආදියෙන් විදේශ විනිමය ඉපයීම වැඩිකර ගැනීම වැදගත්. විශේෂයෙන්ම, විදේශ ශ්‍රමිකයන් වගේම, අපනයන ක්ෂේත්රයේ අයත් වගකීමක් ඇතිව මේ විදේශ විනිමය බැංකු තුළින් ගනුදෙනු කරන්නේ නම්, ඒ මුදල් රටේ සිටින ඔවුන්ගේම ජනතාවට අත්‍යවශ්‍ය දෑ ගෙනඑන්න තමයි යොදාගන්නේ."
විදේශ ශ්‍රමිකයන්ට තව දිරිදීමනා ඕනෑද?
"දිරිදීමනා සම්බන්ධයෙන් කතා කළොත්, කෙනෙක් පිටරක ගිහිල්ලා වැඩ කරලා මුදල් එවන එකට විනිමය අනුපාතයෙන් දිරිදීමනාවක් දුන්නාට, රටේ බදුගෙවන ජනතාවගේ මුදලින් දිරිදීමනා දීමට අවශ්‍ය නැහැ. මගේ අදහසේ හැටියට ඒක වැරදි ක්‍රමයක්. ඒ තැනැත්තා විදේශයක ගිහින් මුදල් හොයන්නේ තමන්ගේ පවුලේ අය වෙනුවෙනුයි. ඒ මුදල්වලට මේ රටේදී කිසිම බද්දක් නැහැ. ඒ වගේම මේ රටේ ඉඳලා වැඩකරන ජනතාව තමන් උපයන ආදායමෙන් පවුලත් නඩත්තු කරලා, බදුත් ගෙවලා, ඒ බදු සල්ලිවලින් විදෙස් ශ්‍රමිකයන්ටත් දිරිදීමනාත් ලබාදෙන්න වුණොත්, ඒක වැරදි සංකල්පයක්. මේ රටේ සේවය කරමින්, බදු ගෙවන කෙනාගෙන්, විදෙස් ශ්‍රමිකයන්ට සහනයක් දීම අසාධාරණයි නේද?"
ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා IMF වැඩසටහන
"අපේ විදේශවලට ගෙවන ණය ගෙවීමට නොහැකි තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා අපි කියලා තියෙනවා. ඒක තමයි. දැන් තියෙන ඇත්ත තත්ත්වය. අපේ සංචිත හොඳටම අඩුවෙලා. ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වැඩියි. ඒ නිසා අපි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඉල්ලා තිබෙනවා. ඒක තමයි සත්‍ය තත්ත්වය.
IMF වැඩසටහන අහවල් දවසේ ඉවර කරනවා පුළුවන් කියා කාටවත් කියන්න බැහැ. අපි ඔවුන් සමග සාකච්ඡා කරද්දි අපි දෙගොල්ලන්ගේම කැමැත්ත අනුව තමයි, එකඟත්වය එන්නෙ. ඒ වගේම අපිට ණය දීපු අයත් කොහොමද මේ ණය ගෙවන්නෙ කියලා එකඟතාවකට එන්න අවශ්‍යයි. මාස 6කින් විතර එකඟතාවකට එන්න පුළුවන් කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරවාරයේ බලාපොරොත්තු නොවූ දෙයක් වුණොත්, ගිය සතියේ සිදුවීම වගේ, මෙය තවදුරටත් කල් යන්න පුළුවන්."
ඩොලර් ළඟතබා ගැනීම ගැන අලුත් නීති
"ශ්‍රී ලංකාව තුළ වෙසෙන නේවාසිකයෙකුට හෝ ආයතනයකට නෝට්ටු වශයෙන් තමන් ළඟ තබාගත හැකි විදෙස් මුදල් ප්‍රමාණය ඇ.ඩොලර් 15,000ක්. ඒ වගේම, මෙම සීමාව 10,000ක් දක්වා අඩු කිරීමට සලකා බලමින් සිටිනවා. උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි ඩොලර් නෝට්ටු තමා සන්තකයේ ඇත්නම් ඒවා බැංකු පද්ධතියට එක් කිරීමට හෝ රුපියල් බවට පරිවර්තනය කිරීමට සති දෙකක කාලසීමාවක් ලබාදෙනවා. ඒවා බැංකුවල තැන්පත් කිරීමෙන් මේ අවස්ථාවේ වැඩි මුදලක් ලබාගැනීමට ඔවුන්ට හැකිවෙනවා." අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව යම් පුද්ගලයෙකු සතුව ඇ.ඩොලර් 10,000ක විදෙස් නෝට්ටු ප්‍රමාණයක් තිබුණද, ඒවා උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට ඔවුන් බැඳී සිටින අතර, එසේ නැතහොත් විදේශ විනිමය පනත ප්‍රකාරව එම තැනැත්තන්ට දඬුවමකට ලක්කළ හැකි බවද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය. එනම්, පවතින නීතිය අනුව කුමන ආකාරයකින් හෝ ඇ.ඩොලර් 15,000කට වඩා වැඩි ප්‍රමාණයක විදෙස් මුදල් නෝට්ටු සන්තකයේ තබාගැනීම නීති විරෝධී වනු ඇත.
කඩිනම් දේශපාලන ස්ථාවරත්වයක්
අවසන් වශයෙන්, ආර්ථික තත්ත්වය තවදුරටත් පිරිහීම වැළැක්වීම සඳහා සහ මහ බැංකුව විසින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ගයන්ට සහාය වීමට, පොදු එකඟතාවකින් යුතු පාලනය සහ සමාජ සංහිඳියාව තුළින් ඉහළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බව මුදල් මණ්ඩලය පවසයි. මීට අමතරව, මහ බැංකු මූල්‍යනය මත අධික ලෙස රඳා පැවතීම වැළැක්වීම සහ මැදි කාලීනව රාජ්‍ය මූල්‍ය තිරසාරභාවය පවත්වා ගැනීම සඳහා උපකාරී වන රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය ශක්තිමත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය බවද පෙන්වා දෙයි. තවද, පෙර නොවූ ආර්ථික තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක්වූ සමාජයේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහායවීම සඳහා සමාජ සුබසාධන වැඩසටහන්වල කාර්යක්ෂමතාව වැඩිදියුණු කරන අතරම, බලශක්ති හා සම්බන්ධ රජය සතු වාණිජ ව්‍යාපාරවල මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා බලශක්ති අංශයේ මිල ගණන් කඩිනම් සහ විනිවිදභාවයකින් යුතුව සංශෝධනය කිරීම ප්‍රමුඛතාවක් ලෙස පවතින බවද අවධාරණය කරයි.
(අද දින, මැයි 20දා 'අද' පුවත්පතේ පළවී ඇති මෙම ලිපියේ අන්තර්ගතයෙහිද දැක්වෙන පරිදිම ශ්‍රී ලංකාව තුළ වෙසෙන නේවාසිකයෙකුට හෝ ආයතනයකට දැනට පවතින නීතිය ප්‍රකාරව නෝට්ටු වශයෙන් තමා ළඟතබා ගත හැකි විදෙස් මුදල් ප්‍රමාණය ඇ.ඩො.15,000ක් වන අතර, එය "ළඟ තබාගත හැකි ඩොලර් ගණන 10,000කට සීමාවෙයි" යනුවෙන් මුල් පිටුවෙහි ශීර්ෂයෙහි පළවී ඇත්තේ ප්‍රමාද දෝෂයකිනි. එහිදී "රු.10,000ක් දක්වා අඩු කිරීමට සලකා බලමින් සිටින" බව අධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටි බවත්, එය එසේ නිවැරදි විය යුතු බවත් දන්වා සිටිමු.)