කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දුරස්ථව පරික්ෂා කිරීමේ සහ ඔවුන්ට අවශ්‍යම සෞඛ්‍ය සත්කාර සිදුකළ හැකි ස්වයංක්‍රීය නියමු රොබෝ යන්ත්‍රයක් (AGV) නිර්මාණය කර එය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කිරීමට ඇට්ලස් ඇක්සිලියා සමාගම කටයුතු කර තිබේ.
මෙම නිර්මාණය මුළුමනින්ම ශ්‍රී ලාකේය නිෂ්පාදනයක් වීම විශේෂත්වයකි. මෙවැනි රොබෝ යන්ත්‍රයක් මෙරට නිර්මාණය කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එහි මුල් ආකෘතිය මේ වනවිට හෝමාගම මූලික රෝහලේ අත්හදා බැලෙමින් පවතී. මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කළ ඇට්ලස් කණ්ඩායමද ඕනෑම ගැටලුවක් ඇතිවුවහොත් එය අවබෝධ කරගැනීම සහ ඊට පිළියම් යෙදීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය සමග සමීපව කටයුතු කරමින් සිටියි. කොරෝනා වසංගතය දුරලීම සඳහා තවත් ඒකක නිෂ්පාදනය කිරීමට ඉදිරිපත් වන තෝරාගත් පුද්ගලයන් සහ ආයතන වෙත මෙම මුල් ආකෘතියේ තාක්ෂණය ලබාදීමටද ඇට්ලස් සමාගම අපේක්ෂා කරයි.
කොළඹ සෞඛ්‍ය සේවා කලාප අධ්යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා මෙම මුල් ආකෘතියේ ක්‍රියාකාරිත්වය බෙහෙවින් ප්‍රශංසාවට ලක්කළේ, "දේශීය සමාගමක් විසින් වෛද්‍ය සේවා සහාය සඳහා රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කිරීම සැබවින්ම විශිෂ්ටයි. මෙවැනි වසංගත තත්ත්වයකට එරෙහිව සටන් කිරීමේදී තාක්ෂණික වැඩි දියුණු කිරීම් ඉතාම වැදගත්. සෞඛ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය අවදානමේ හෙළීමෙන් තොරව රෝගීන්හට සේවය සැලසීමට හැකිවීම කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේ දැවැන්ත ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි." යනුවෙනි.
මෙම රොබෝ යන්ත්‍රය, රෝගීන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම වැනි මූලික වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමට අමතරව රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙනයාමේ හැකියාවෙන්ද යුක්තය. එහි සවිකර ඇති කැමරා පද්ධතිය හරහා වෛද්‍යවරුන්ට දුරස්ථව රෝගියා සමග සංවාදයේ යෙදෙමින් රෝගියා පරීක්ෂා කිරීමේ හැකියාව ලබාදී ඇත. තවද සෞඛ්‍ය සේවකයන් ස්පර්ශ කිරීම උපරිම මට්ටමින් පාලනය කිරීම සඳහා මෙම රොබෝ යන්ත්‍රය රැහැන් රහිත (වයර්ලස්) ආරෝපණ හැකියාවෙන්ද යුතු වෙයි. මෙමගින්, රෝගීන් පරීක්ෂා කිරීම ස්වයංක්‍රීයකරණය කර ඇති බැවින්, සිය සෞඛ්‍යය රැකගන්නා අතරම රෝගීන්ගේ ජීවිත බේරාගැනීමේ සටනට අඛණ්ඩව දායකත්වය ලබාදීමටද සෞඛ්‍ය අංශයේ සේවකයන්ට අවස්ථාව උදාවේ.
ඇට්ලස් ඇක්සිලියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අසිත සමරවීර මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳ සඳහන් කළේ, "කොවිඩ්- 19 වැනි අභියෝගාත්මක වසංගත තත්ත්වයක් තුළ සෞඛ්‍ය අංශ මුහුණදෙන අභියෝගවලට විසඳුමක් ලබාදීමට සමත් වූ අපගේ කණ්ඩායම පිළිබඳ මා බෙහෙවින් ආඩම්බර වෙනවා. මේ වසංගතයට එරෙහිව දියත්කර ඇති ජාතික මෙහෙවරට දායකත්වය ලබාදීම සඳහා අප මේ නිමැවුම දායාද කරනවා. හෝමාගම රෝහල කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ රෝගීන් වෙනුවෙන්ම වෙන්කෙරුණු රෝහලක් නිසා අප ඒ සඳහා මෙම මුල් ආකෘතිය පරිත්‍යාග කරනවා” යනුවෙනි.
මේ වනවිට වෛරසය ආසාදනය වූ රෝගීන් සමග සමීපව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් භාවිත කරන පුද්ගල ආරක්ෂක මෙවලම් (PPE) කට්ටලය පැළඳ සිටීම ඉතාම අපහසුවන අතර, මෙම රොබෝ යන්ත්‍රය මගින් එම අපහසුතාව විශාල වශයෙන් ඉවත් කිරීමට හැකිවී ඇත.
හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය පාලක වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා, මෙවැනි තීරණාත්මක අවස්ථාවක රට වෙනුවෙන් පෙරට පැමිණීම පිළිබඳ ඇට්ලස් ඇක්සිලියා සමාගමට සිය ස්තූතිය පුදකර සිටියේය.
"මෙවැනි අවස්ථාවක වැදගත්ම දෙය වන්නේ අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සෞඛ්‍යය රැක ගැනීමයි. මන්දයත්, එක් සේවකයෙකුට වෛරසය ආසාදනය වුණොත් සමස්ත කණ්ඩායමටම නිරෝධායනය වීමට සිදුවන නිසා එවිට සමස්ත ක්‍රියාවලියම අඩපණ වීමට හැකියි. හෙද කාර්යයන් ඉටුකිරීම සඳහා රොබෝ යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම මගින් වාට්ටු තුළ වෛරසය ව්‍යාප්තවීම සැලකිය යුතු මට්ටමකින් අවමකර ගත හැකියි. රෝගීන් සමග සමීපව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් පැළඳිය යුතු PPE කට්ටල මිලෙන් අධික නිසා, එම කට්ටල සඳහා රජයට දැරීමට සිදුවන පිරිවැයත් මෙමගින් අවමකර ගත හැකියි."