2024 දෙවැනි සහ තුන්වැනි කාර්තු අතරතුර හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) විසින් හසුරුවන ලද RORO වාහන ප්‍රතිනැව්ගත කිරීම් සියයට 40කින් වර්ධනය වී ඇතැයි වරාය වාර්තා කරයි. ඒ අනුව, සැප්තැම්බර් අග වන විට, දෙවන කාර්තුවේ දී හැසිරවූ 125,526ක RORO ඒකක සංඛ්‍යාව තුන් වන කාර්තුවේ දී 175,583 දක්වා ඉහළ නැංවීමට වරාය සමත් විය.
මෙයට විශේෂයෙන් සාධක වී ඇත්තේ HIP හි ක්‍රියාත්මක වන RORO නැව් සමාගම්හි වැඩිවීමක් මෙන්ම ෂැංහයි, උල්සාන්, ටයිකාන්ග්, පියොංටේක්, ඩෆෙන්ග් සහ බැල්ටිමෝර් වැනි වරායන් කිහිපයක් වරායේ බෙදාහැරීම් ජාලයට අලුතින් සම්බන්ධ වීම බව HIP හි නියෝජිතයින් පවසයි. මෙසේ RORO සංඛ්‍යා වැඩිවීම වසර දෙකකට පෙර වරාය විසින් සැලසුම් අනුව අපේක්ෂා කර ඇති අතර ඒ අනුව තම වාහන අංගන අවකාශය පුළුල් කිරීමටද උත්සුක විය.
වරායට පැමිණෙන RORO ඒකක බොහොමයක් ලොව පුරා විවිධ ගමනාන්ත වෙත ප්‍රතිනැව්ගත කරන බව පවසන හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා, ප්‍රතිනැව්ගත කිරීම සඳහා පැමිණෙන වාහන වර්ගයන්හි වෙනසක්ද දක්නට ඇති බව පවසයි. “අපගේ ගිවිසුම්ගත අනුග්‍රාහකයින් වෙතින් බර වාහන වැඩියෙන් පැමිණීම වරායේ ආදායමට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙනවා. එමෙන්ම RORO නැව් සමාගම් කිහිපයක්ම HIP හරහා නව ගමනාන්ත වෙත තම අලුත් සේවා දියත් කිරීම වරාය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය තහවුරු කිරීමක්. අප වෙත එන සුඛෝපභෝගී වාහන අධික වීම මෙයට කදිම නිදසුනක්.”
HIPG හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා පවසන්නේ RORO සංඛ්‍යා වැඩිවීම, වරායේ පිහිටීම සහ අංගන ඉඩ ප්‍රමාණය නිසාම පමණක් නොව, ඉතාමත්ම අවම අනතුරු තත්වයක් පවතින හේතුවෙන් බවයි. “අපගේ සේවා විශිෂ්ටත්වය සහ පළපුරුදු හැසිරවීම HIP හි RORO සංඛ්‍යා වර්ධනය වීමට ප්‍රධාන සාධකයක්. නැව් සැලසුම්කරණයට සහ භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාකරණය කිරීම වෙනුවෙන් පළපුරුදු, ප්‍රවීණ මෙහෙයුම් කාර්ය මණ්ඩලයක් අපට සිටිනවා. RORO වාහන ගමනාන්ත වරායන්හි පහසුවෙන් ගොඩ බෑමේ පහසුකම ඔවුන් සහතික කරනවා. HIP හි උපායමාර්ගික පිහිටීම උපරිම ලෙස ලීවරණය කර, ඉහළ පරිමාවන් හසුරුවමින් ගෝලීය නැව් කර්මාන්තයේ වර්ධනය වන ඉල්ලීම් සපුරාලීමට අපි සූදානම්ව සිටිනවා,'' යි ඔහු තවදුරටත් අවධාරණය කරයි.
පාරිභෝගික තෘප්තිය පිළිබඳ පැහැදිලි අවධානයෙන් යුතුව වරායේ සේවා වටිනාකම ඉහළ නැංවීමට HIPG කැපවී සිටින බව ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.