සමුද්‍රීය ගෑස් ඉන්ධන (MGO) මෙට්‍රික් ටොන් 15,000ක් රැගත් ඉන්ධන නෞකාව වන %සනී බේ^ හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත ළඟාවී ඇති අතර, මෙය වරායේ ඉන්ධන ගබඩා පර්යන්තයේ ගබඩා කිරීම සඳහා MGO රැගෙන ආ පළමු වැනි ඉන්ධන නෞකාව බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) නිවේදනය කරයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය, තම ගෝලීය හවුල්කරු සයිනොපෙක් සමාගම සමග, අවම සල්ෆර් සංයුතියකින් යුතු ඛනිජ තෙල් (VLSFO) තොග වශයෙන් සැපයීමේ මෙහෙයුම පසුගිය වසරේ ආරම්භ කළේය. ඉන්ධන ගබඩා පර්යන්තය සමග එහි තෙල් ජැටි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර, ලෝක ප්‍රකට ලොයිඩ්ස් රෙජිස්ටර් සමාගම විසින් FSS සුරක්ෂිත සහතිකයද (Fitness for Service - සේවා සැපයීමට යෝග්‍යතාව) හිමිකර ගැනීමෙන් අනතුරුව, හම්බන්තොට වරාය දැන් MGO සහ මැරීන් ඩීසල් තෙල් (MDO) සැපයීමට සුදානම්ව සිටියි. මෙම MGO සේවා ආරම්භයත් සමග හම්බන්තොට ජාත්‍යන්තර වරාය, පාරිභෝගිකයන්ගේ සියලු ඉන්ධන අවශ්‍යතා සපුරාලමින් කලාපයේ ප්රමුඛ ඉන්ධන තොග සැපයුම්කරුවෙකු ලෙස ස්ථානගත වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.
හම්බන්තොට වරාය, ජාත්‍යන්තර ප්රමිතීන් මිණුම් දණ්ඩක් කරගනිමින්, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ අති නවීන ඛනිජ තෙල් පරීක්ෂණ රසායනාගාරයක්ද පිහිටුවා ඇත. ප්රමුඛ පෙළේ ගෝලීය පරීක්ෂණ සේවා සපයන්නෙකු වන ඉන්ටර්ටෙක් ලංකා පුද්ගලික සමාගම සමග එක්ව පිහිටුවා ඇති රසායනාගාරය තුළින් නාවික ඉන්ධන, LPG ගෑස්, LNG ගෑස් සහ අනෙකුත් ඛනිජ රසායනික නිෂ්පාදන, සහතික කිරීම සහ පරික්ෂා කිරීම ආදී සේවා සපයනු ඇත. වරාය පරිශ්‍රය තුළ පිහිටා ඇති රසායනාගාරය IMO 2020 හෙවත්, ගෝලීය සල්ෆර් රෙගුලාසිය පරික්ෂා කිරීමේ හැකියාව ඇති ජාත්‍යන්තර ලෙස වර්ගීකරණය වූවකි.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ පවසන්නේ, ලොයිඩ්ස් රෙජිස්ටර් සමාගම මගන් සහතිකලත්, ඉන්ධන ගබඩා පර්යන්තය මෙන්ම, නවීනතම රසායනාගාර පහසුකම්වලින්ද සමන්විත හෙයින් HIP මගින් සේවාලාභීන්ට විශාල වටිනාකමක් ලබාදීමට හැකිවනු ඇති බවයි. "ලෝකයේ නාවික ඉන්ධනයන්ගෙන් 50%ක වෙළෙඳාම් සිදුවන ඉන්දියානු සාගරයේ, උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇති හම්බන්තොට වරාය, ඉන්ධන සැපයීම, LPG සහ අනාගත LNG මෙහෙයුම් ආදී සියලු සේවාවන් සඳහා ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස නිසි තැන ගැනීමට සුදානම්ව සිටිනවා" යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
විද්‍යාගාර පරීක්ෂණ පහසුකම මගින් HIP සේවාලාභීන්ට, නාවික ඉන්ධන, මැරීන් ඩීසල් තෙල් සහ සමූද්‍රීය ගෑස් ඉන්ධන වැනි සියල්ලකම ජාත්‍යන්තර තත්ත්ව ප්රමිතීන්, කාර්යක්ෂමව සහ පහසුවෙන් ඉන්ධන පර්යන්ත පරිශ්‍රයේදීම සහතික කර ගැනීමටම හැකි වේ. වරායේ කැපවූ වෘත්තීය කණ්ඩායම තෙල් ටැංකි ජාලය, අනුබද්ධ නල මාර්ග, තෙල් නැංගුරම් ජැටි සහ පාලන පද්ධති ඉතා ආරක්ෂිතව මෙහෙයවන අතර, වරායේ සියලු බලශක්ති සේවාවන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුකරන බව කියයි. ක්‍රියාකාරී ගිනි නිවන පද්ධතියක් සහ අපජල පවිත්‍ර කිරීමේ පහසුකම් වැනි අනු සේවා සියල්ලක්ම වරාය විසින් පිහිටුවා තිබේ.
කාර්යබහුලම මුහුදු මාර්ගයකට ආසන්නව පිහිටා ඇති හම්බන්තොට ජාත්‍යන්තර වරාය අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයේ (IMO) 2020 ප්‍රමිතින්ට අනුකූල උසස් ගණයේ ඉන්ධන තෙල් සැපයීම සඳහා නම් දැරූ ගෝලීය සමාගමක් වන සයිනොපෙක් සමග හවුල්ව ක්‍රියා කරයි. ඒ තුළින් යාත්‍රා සඳහා ඉන්ධන පහසුකම් සපයන ශ්‍රී ලාංකේය ආයතනයන්ටද ප්රතිලාභ ලබාදෙමින් මෙරට බලශක්ති වෙළෙඳපොළට වඩාත් තරඟකාරී ස්වභාවයක් ගෙනදෙනු ඇති බවද ඔවුන්ගේ විශ්වාසයයි. ඒ අනුව, සමුද්‍රීය කර්මාන්තයේ දෙවැනි ඉහළම ඉල්ලුම ඇති MGO අවශ්‍යතා සපුරාලීම ළඟදීම ආරම්භ කිරීමට වරාය බලාපොරොත්තු වේ. වරාය විසින් සපයන MGO, ISO 8271 ප්‍රමිතියට අනුකූල ඉතා උසස් තත්ත්වයෙන් යුක්ත බවත්, මාලදිවයින වැනි විදේශීය ගමනාන්තයන්ටද ඒවා සැපයිය හැකි බවත් HIPG පෙන්වා දෙයි.
වරායේ ඉන්ධන තොග වශයෙන් සැපයීමේ හවුල්කරු වන සයිනොපෙක් සමූහය 2020 දී ෆොර්චූන් ග්ලෝබල් 500 ලැයිස්තුවේ (Fortune Global 500 list) 2 වැනි ස්ථානයට පත්ව ඇති අතර, තෙල් ගවේෂණය, නිෂ්පාදනය, පිරිපහදු කිරීම, අලෙවිකරණය සහ බෙදා හැරීම යන ක්ෂේත්රවල ගෝලීය ප්රමුඛයෙකු බවත් සඳහන් වෙයි. සයිනෝපෙක් ඉන්ටර්නැෂනල් පෙට්‍රෝලියම් සර්විසස් කෝපරේෂන් (SINOPEC International Petroleum Services Corporation) සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) අතර හවුල්කාරිත්වය දෙපාර්ශ්වයට සහ ඔවුන්ගේ ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්ට ප්රතිලාභ ලබාදෙනවා පමණක් නොව, ගුණාත්මකභාවය, දැනුම සහ ප්‍රවීණත්වය අතින් ඉහළම ප්රමිතීන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් කර්මාන්තය ඉහළ නංවනු ඇති බවද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය වැඩිදුරටත් පවසා සිටියි.