හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) පසුගියදා චීනයේ ෆුජියන්හි සීමාසහිත ෂියාමෙන් කිං ලෝන්ග් යුනයිටඩ් ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි සමාගම (Xiamen King Long United Automotive Industry Co.,Ltd) සමග වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
මෙය චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ හා HIPGහි ආයෝජන ප්‍රවර්ධන කණ්ඩායමේ නායක, වරාය ආයෝජන සේවා සාමාන්‍යාධිකාරී ජස්ටින් ජාංගේ නායකත්වයෙන් ෆුජියන්හි පැවති ශ්‍රී ලංකාවේ චීන ආයෝජන ප්‍රවර්ධනයේ සෘජු ප්රතිඵලයකි.
1988 දී පිහිටුවන ලද සීමාසහිත ෂියාමෙන් කිං ලෝන්ග් යුනයිටඩ් ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි සමාගම, විශාල හා මධ්‍යම ප්‍රමාණයේ බස් සහ වෑන් නිෂ්පාදනය කරයි. විශාල නිෂ්පාදන කර්මාන්තශාලා ත්‍රිත්වයක් හිමි කිං ලෝන්ග් නිෂ්පාදන ලොව පුරා රටවල් සහ කලාප 140කට වැඩි ප්‍රමාණයකට අපනයනය කරන අතර, චීනයේ හොඳම වාහන සන්නාම 10ට අයත් වේ.
කිං ලෝන්ග් මෝටර් සමූහයේ උප සභාපති ජාංග් බින් පැවසුවේ, HIPG කර්මාන්ත කලාපය තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් පිහිටූවිමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට මෙය කදිම අවස්ථාවක් බවය. "හම්බන්තොට වරායේ උපායමාර්ගික පිහිටීම සමග ගිනිකොනදිග ආසියාවේ නව වෙළෙඳපොළ කරා පිවිසීමට අපට හැකියාව පවතිනවා" හෙතෙම වැඩිදුරටත් පැවසීය.