අලුතින් ඉදිවන සිමෙන්ති කම්හලට තොග අමුද්‍රව්‍ය පරිවහයනය සඳහා චීනයේ නිෂ්පාදිත නවතම දොඹකර යුගලක්, හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) අංක 6 නැංගුරම්පළෙහි ගොඩබාමින් සිටින බව එම වරාය නිවේදනය කරයි. සම්පූර්ණයෙන් එකලස් කර බත්තල යාත්‍රා මගින් රැගෙන ආ ගැන්ට්‍රි දොඹකර, චීනයේ ෂෙන්ජියැං වරායේ සිට සති 6ක කාලයක් තුළ HIP වෙත පැමිණ තිබේ.
HIP රෙගුලාසිවලට සහ පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ඉදිකර ඇති දොඹකර, ක්ලින්කර්, ජිප්සම් සහ ස්ලැග් අමුද්‍රව්‍ය හැසිරවීමට භාවිත කරනු ඇත. දොඹකර මගින් නෞකාවේ සිට ඩී-ඩස්ටිං හොපරයකට (de-dusting hopper), අමුද්‍රව්‍ය මාරුකර, වරායේ සිට කිලෝ මීටර් 2ක් දුරින් මිරිජ්ජවිල BOI කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාව වෙත වාහක පටියක් හරහා එක එල්ලේ පරිවහනය කරන බව කියයි.
"නවදොඹකර, යාත්‍රාවන්හි මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ අගයක්වීම අපගේ ඵලදායීතාවට ඉතා ධනාත්මකව බලපානවා. වරාය තොග භාණ්ඩ හැසිරවීම ආරම්භ කළේ 2018 වසරේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) මෙහෙයුම් භාර ගැනීමෙන් පසුවයි. එදා පටන්, කාර්යක්ෂමතා පරිමාවන්හි වාර්තා බිඳහෙලීමට අප සමත් වූ අතර, මේ නවාංගය අපගේ මෙහෙයුම් තවදුරටත් වැඩි දියුණුකර, ඵලදායීතා මට්ටම් දෙගුණයකින් පමණ වැඩිකර ගැනීමට උපකාරී වනු ඇති" යැයි HIPG හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසයි.
මිනිත්තුවකට මීටර් 120ක එසවීමේ වේගයක් සමග පැයකට අමුද්‍රව්‍ය ටොන් 600ක් හැසිරවීමේ ධාරිතාව ඇති මෙම දොඹකර, වඩාත් පරිසර හිතකාමීව මෙහෙයුම් සිදුකිරීමට ඉවහල් වනු ඇති බවද හම්බන්තොට ජාත්‍යන්තර වරාය වැඩිදුරටත් පවසයි.