මෑතක දී, ඉවත් කරන ලද වාහන ආනයන තහනමත් සමග ශ්‍රී ලංකාවේ අපේක්ෂිත වාහන ආනයන ඉහළ යෑම හසුරුවීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) පූර්ණ සූදානමින් සිටී. දේශීය මෝටර් රථ වෙළඳපොලේ වර්ධනයත් සමඟ ඉහල යමින් පවතින ඉල්ලුම සපුරාලීම සඳහා HIP, සිය අති නවීන යටිතල පහසුකම් සහ පළපුරුදු ශ්‍රම බලකායේ සහාය ඇතිව, ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට අදහස් කරයි.
2018 සිට, වරායේ රෝල්-ඔන්/රෝල්-ඕෆ් (RORO) පරිමාවන්හි සැලකිය යුතු ලෙස වර්ධනයක් දක්නට ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා පවසයි. ‘’2018 දී ඒකක 238,997 සිට 2024 වසරේදී ඒකක 579,362 දක්වා අපගේ RORO පරිමාවන් ඉහළ නැංවීමට සමත්ව තිබෙනවා. මෙම මනා වර්ධනය, HIP හි නිරතුරුව ඉහළ යමින් පවතින වාහන ආනයන කළමනාකරණය කිරීමේ ධාරිතාවට මෙන්ම ශ්‍රී ලංකාවේ මෝටර් රථ සැපයුම් දාමයේ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස වරායේ පිහිටීමට කදිම සාක්ෂියක්.’’
වාහන ආනයන විධිමත් කිරීම සඳහා, විශේෂිත පහසුකම් මාලාවක් HIP විසින් ස්ථාපිත කොට ඇත. දේශීය ප්‍රමිතීන්ට අනුකූලව බාහිර පරීක්ෂා සිදු කිරීම සඳහා විශේෂිත රේගු පරීක්ෂණ අංගනයක් මෙයට ඇතුළත් වන අතර, මෙම නව පහසුකම සතියේ සෑම දිනකම පැය 24 පුරා සීසීටීවී සහ පරීක්ෂණ පහසුව පිණිස දීප්තිමත් ආලෝකකරණයෙන් සමන්විත වේ. නිෂ්කාශනය සඳහා නවතා තිබෙන වාහන ආරක්ෂිතව ගබඩා කිරීමේ ඉඩකඩ සළස්වා ඇති අතර, ආනයනික වාහන සඳහාද තාවකාලික ගබඩා පහසුකම් ලබා දී ඇත. නිෂ්කාශන ක්‍රියාවලිය සඳහා වරායට පැමිණෙන වාප්පු ලිපිකරුවන් සහ ආනයනකරුවන් සඳහා අවශ්‍ය මූලික පහසුකම් ද HIP විසින් සපයනු ලැබේ. මීට අමතරව, වාහන නිෂ්කාශනය සඳහා අවශ්‍ය ලියකියවිලි HIP හි වාහන සැකසුම් ස්ථාන විසින්ම ලබා දෙන හේතුවෙන් ආනයනකරුවන්ට බාධාවකින් තොර අත්දැකීමක් සහතික කරයි.
වරායේ අලුතින් සාදා ඇති අංගනය ආනයන වාහන සඳහා සරිලන පරිදි විශේෂයෙන් නිම කර ඇත. අවම වශයෙන් වාහන 4000ක් පමණ ගබඩා කිරීමේ ධාරිතාවකින් යුත් මෙම අංගනය දේශීය ආනයන මෙන්ම ප්‍රතිනැව්ගත කරන වාහනද කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා නිර්මාණය කොට ඇත.
ආරක්ෂාව ප්රමුඛ කොට සලකන වරාය, අවසර ලත් පුද්ගලයින් පමණක් අංගනයන්ට ඇතුළු වීම සහතික කිරීම සඳහා දැඩි ආරක්ෂක රෙගුලාසි පනවා තිබේ. ජැටි සහ තාවකාලික ගබඩා පෙදෙස් ඇතුළු සම්පූර්ණ වරාය පරිශ්‍රය 24/7 සීසීටීවී අධීක්ෂණයෙන් සමන්විත වේ. වාහන හැසිරවීමේ ක්‍රියාවලිය තුළ සෑම අදියරක්ම ආරක්ෂිතව, වගකීමෙන් පවත්වා ගැනීම සඳහා ජංගම සහ පා මුර සංචාර ද යොදවා ඇත. ඊට අමතරව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන වරායේ ආලෝකකරණය, ඉහළ දෘශ්‍යතාව සහ ආරක්ෂාව සහතික කරයි.
2018 සිට සැලකිය යුතු පරිමාවන් සාර්ථකව කළමනාකරණය කරමින්, මහා පරිමාණ වාහන ආනයන හැසිරවීමේ හැකියාව HIP සනාථ කර ඇත. යටිතල පහසුකම් වැඩිදියුණුව සඳහා වරාය විසින් සිදු කර ඇති ඇමරිකානු ඩොලර් මිලියන 2 ක ආයෝජනය, වාහන ආනයන සඳහා වැඩිවන ඉල්ලුම හැසිරවීමට තවදුරටත් සහාය වනු නොඅනුමානය.