ලොවම තැතිගන්වමින් වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ්-19 රෝගය සමස්ත ශ්‍රී ලංකාවම අකර්මණ්‍ය කිරීමට සමත්ව ඇති තත්ත්වය හමුවේ, එයට එරෙහිව නිර්භීත සටනකට පිවිස ඇති ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්රය අපගේ නිබද ඇගයීමට ලක්වීම පැසසිය යුතු කරුණකි. එම වෛද්‍ය, හෙද හෙදි කාර්ය මණ්ඩල ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රයම කැපවීමෙන් සිදුකරන මෙම කාර්යයට ශක්තිය සපයමින්, රෝගීන් සමඟ සෘජුවම සම්බන්ධව ප්‍රතිකාර කරනා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂිත ඇඳුමක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මූලිකත්වය ගෙන ඇත.
මෙයින් නොනැවතී ඇඟලුම් කර්මාන්තකරුවන් සහ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංගමය මගින් නිර්මාණය කරනු ලබන මෙම සුවිශේෂී ආරක්ෂිත ඇඟලූම හා සම්බන්ධ තාක්ෂණය, එහි හැඩයන් හා සම්බන්ධ තොරතුරු එම ක්ෂේත්රයේ අනෙකුත් ප්රමුඛ නිෂ්පාදකයන් සමඟ බෙදාහැරීමටද ඉදිරියේදී කටයුතු කිරීමට සූදානමින් පසුවන අතර, එමගින් සමස්ත ජනතාවත් රටත් මෙම උවදුරෙන් මුදවාගැනීමේ පරිසරයක් නිර්මාණය කරගැනීමට හැකියාව ඇත.
තවද මෙම සහන සේවා වැඩසටහන් මාලාවේ ආරම්භක පියවරක් වශයෙන් ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සහ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය සම්බන්ධීකරණ කාර්යයෙන් ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක් විසින් නිෂ්පාදනය කරනු ලැබූ මිලියන 2කට අධික ආරක්ෂිත මුව ආවරණ නිෂ්පාදන ප්‍රමාණයක් නොමිලේ රජයේ සෞඛ්‍ය සේවාව වෙත ප්රදානය කිරීමට යොමුවූ අතර, ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම TeeJay රෙදිපිළි නිපැයුම් ආයතනය විසින් සිදුවිය. මෙම කාර්යයට අමතරව දිවයිනේ බොහෝ ඇඟලුම් කර්මාන්ත ශාලා විසින් රජයේ රෝහල් සහ ඒ හා සම්බන්ධ බලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත මුව ආවරණ රැසක් නිෂ්පාදනය කර පරිත්‍යාග කිරීම තුළින් මෙම වෛරසයට එරෙහිව සටන් කරනා ඔවුන් වෙත ශක්තියක් සැපයීමට සමත්ව ඇත.
ඇඟලුම් කර්මාන්තය වර්තමානය වනවිට දේශීය ආර්ථිකයේ කෂේරුකාව බවට පත්ව ඇත. වැඩිම විදේශීය විනිමයක් උත්පාදනය කරමින්, දේශීය වශයෙන් තරුණ තරුණියන් සඳහා පුළුල් වූ අංශ ගණනාවක රැකියා අවස්ථා රැසක් නිර්මාණය කිරීමට සමත්වු මෙම ක්ෂේත්රය, ආසියව තුළ ප්රමුඛ ස්ථානය වෙත ගෙනඒම සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මඟපෙන්වීම බෙහෙවින් ඉවහල් වී ඇත. විශේෂයෙන් මෙම කර්මාන්ත ක්ෂේත්රයේ ඉදිරි අනාගතය වෙනුවෙන් සහ එම ක්ෂේත්රයේ රැකියාවන්හි නිරත සේවිකාවන්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් ‘මටයි මගේ රටටයි’ වැනි ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීම තුළින් එය මනාව පසක් වන්නකි.
මෙසේ නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රථම මුව ආවරණ නිෂ්පාදන තොගය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වෙත ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රෙහාන් ලඛානි මහතා විසින් පිළිගැන්වූ අතර, Omega Line සමූහ අධ්යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු සහ Eskimo Fashions ප්‍රධාන විධායක නිලධාරී ඉන්දික ලියනහේවගේ මහත්වරුන්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.