ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා කර්මාන්තයේ ජාතික නියාමන ආයතනය වන සිවිල් ගුවන්සේවා අධිකාරියේ 20 වැනි සංවත්සරය පසුගිය 27 වැනිදාට යෙදී තිබුණි.
1947 වසරේ දී මෙරට සිවිල් ගුවන්සේවා කර්මාන්තයේ නියාමනය වෙනුවෙන් ස්ථාපිත වූ සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර නියාමන ක්‍රමවේදයන් අනුව කටයුතු කිරීම වෙනුවෙන් 2002 වසරේදී එය ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය ලෙස ස්ථාපිත වන්නේ අංක 2002 අංක 34 දරණ පාර්ලිමේන්තු පනතෙහි විධිවිධානයන්ට ප්‍රකාරවය.
භූමි ප්‍රමාණය මෙන් 21ක් ගුණයක් විශාල වූ වපසරියක් සහිත ශ්‍රී ලංකාවට අයත් ගුවන් තොරතුරු කලාපයේ සියලු සිවිල් ගුවන් ක්‍රියාකාරකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අපේ රටට උචිත අන්දමින් ගුවන් සුරක්ෂිතතාව හා ආරක්ෂාව තහවුරු වන පරිදි වඩාත් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ කාර්යභාරය අතර ප්රමුඛව පවතී.
ඒ වෙනුවෙන් නිබඳවම කටයුතු කරන සිවිල් ගුවන්සේවා අධිකාරිය, ජාත්‍යන්තර ප්රමිතීන් ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකාවට උචිත අන්දමින් සිවිල් ගුවන්සේවා කර්මාන්තය නිසි පරිදි නියාමනයට ලක්කරමින් කටයුතු කරන බව, ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් පැවැත්වූ පසුගිය විගණනයන්ට සාර්ථකව මුහුණ දෙමින් ලොවටම පසක් කළේ දකුණු ආසියාවේ සුරක්ෂිතම ගුවන් කර්මාන්තයක් හිමි රට බවට ශ්‍රී ලංකාව ඔසවා තබමිනි.
සෑම ක්ෂේත්රයකටම මෙන් ගුවන්සේවා කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ල කළ කොවිඩ්-19 රෝග වසංගත තත්ත්වය සහ වෙනත් අභියෝගයන් හමුවේ වුවද කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරමින් යළි සුපුරුදු රිද්මයට ගෙනඒම උදෙසා මනා සංවිධානාත්මක ක්‍රමවේදයක් යටතේ තම පාර්ශ්වකාර ආයතන සමග සහයෝගීව සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු කරමින් සිටී.
ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා ක්ෂේත්රය නිබඳවම ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් අපමන කැපවීම් කළ සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කිරීමටද මෙය අවස්ථාවක් කර ගන්නා ලෙස එම අධිකාරිය වැඩිදුරටත් පවසා සිටියි.