වර්තමානයේදී රටේ ආර්ථිකය අනතුරකට ලක්වූ රෝගියෙකු රෝහලකට ගෙනයෑමේදී තවත් හදිසි අනතුරකට ලක්වී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයක සිටින රෝගියෙකුට සමාන කළ හැකි බවත්, ඒ රෝගයා ගොඩගැනීමට නම් ජීවිතවල වටිනාකම හඳුනන විශේෂඥයන් විසින් ඔහුට ප්‍රතිකාර කළ යුතු බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය 1.6% දක්වා පහළ බැස තිබීමත්, ඉදිරි වසරේදී රටේ ආර්ථික වර්ධනය වේගය යම් තරමකින් වැඩිවනු ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙනුත් %අද^ට අදහස් දක්වමින් හිටපු අධිපතිවරයා මෙසේ පැවසීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
"2015 සිටම අපේ රටේ ආර්ථික වර්ධන වේගය සෑම වසරකම, ඊට පෙර වසරට වඩා අඩුවීමක් සිදුවන ආකාරය අප දුටුවා. මේ පිළිබඳව හේතු රැසක් අප දැනටමත් පෙන්වා දී තිබෙනවා. ඒ විවිධ හේතු හරහා මේ තත්ත්වය දිගින් දිගටම සිදුවන ආකාරය අප දුටුවා. මේ වසරේදී 1.6%කට මේ වනවිට අපේ ආර්ථික වර්ධන වේගය අඩුවීම ගැන කිසිම ආකාරයකින් පුදුම විය යුතු නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයම මේ තත්ත්වයට හේතුව යැයි කියන්න බැහැ. මොකද මේ තත්ත්වය උදාවෙමින් පැවතුණා.
ඒ නිසා අපට දැන් ඉතාමත්ම පැහැදිලිව පෙනී යන දේ තමයි, මේ යන ආකාරයට අපේ ණය වැඩිවෙලා, ආර්ථිකමය වශයෙන් ව්‍යාපාරිකයන් සම්පූර්ණයෙන්ම වැටිලා, බැංකුවල බොල් ණය වැඩිවෙලා, පොලී අනුපාතය තවදුරටත් වැඩිවෙලා, රුපියල අවප්‍රමාණය වෙලා පැවතුණොත්, ලබන වසරේදී වුණත් කිසිම ලෙසකින් මේ තත්ත්වයෙන් අපට ගැලවීමට හැකියාවක් නැහැ. එතනදි, අපේ ආර්ථිකය නැවත ගොඩගැනීම කෙරෙහි අපට තැබිය හැකි එකම බලාපොරොත්තුව වන්නේ, දේශපාලනිකව අපේ රටේ පාලන ක්ෂේත්රයේ මෙන්ම, ආර්ථිකමය පැත්තෙනුත් පාලන ක්ෂේත්රයේ වෙනසක් සිදුකිරීමයි.
එසේ සිදුවුණොත්, රටේ ආර්ථික වර්ධනය වේගය නැවත වරක් වර්ධනය කරගැනීමට අපට පුළුවන් වේවි. ඉතා දරුණු ආර්ථික අවපාතයෙන් අපට ගොඩඒමට හැකිවේවි. රටේ සාර්ව ආර්ථික සාධක නැවත වරක් ධනාවත්මක දිශාවට ගෙනඒමට පුළුවන් වේවි. නමුත්, එසේ සිදුනොවුණහොත්, ලබන වසරේදී අපට විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවිය හැකියි.
මම මේ තත්ත්වය දකින්නේ, අසාධ්‍ය රෝගියෙක් රෝහලට රැගෙන එන අතරේ, ඒ වාහනය තවත් අනතුරකට මුහුණදී ඔහු බරපතළ තත්ත්වයකට පත්වීමක් වගෙයි. දැන් මේ අතිශය අසාධ්‍ය රෝගියා, දැඩිසත්කාර ඒකකයේ බොහෝම අමාරු තත්ත්වයක ඉන්නවා. දැනට රෝහලේ ඉන්න වෛද්‍යවරු මේ රෝගියා සුවපත් කිරීමේ අරමුණින් ප්‍රතිකාරයක් ලබාදෙන්නේ නැහැ. ඔවුන් දැනට ලබාදෙන ප්‍රතිකාරයෙන් සිදුවන්නේත්, රෝගියා තව තවත් අසාධ්‍ය තත්ත්වයට පත්වීමයි.
ඒ නිසා ඉතාමත්ම ඉක්මණින් මනුෂ්‍ය ජීවිතවල වටිනාකම හඳුනන වෛද්‍යවරු ඇවිත් මේ රෝගියා ගොඩගත්තොත් විතරයි, ඔහුට යළි නැගිටින්න අවස්ථාවක් ලැබෙන්නේ. මේ තත්ත්වය අපේ රටේ ආර්ථිකයට ආදේශ කළොත්, ඉතාම ඉක්මණින් රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා අප මීට පෙර හඳුන්වා දුන් සාධක 12 (මෙය කෙටියෙන් පහළින් දක්වා ඇත.) ක්‍රියාවට නැංවිය යුතුයි. අසාධ්‍ය තත්ත්වයෙන් පෙළෙන ආර්ථිකය මේ හරහා යථාතත්ත්වයට ගෙනඒමට අප කටයුතු කළ යුතුයි. රෝගියාට තමන්ගේ එදිනෙදා කටයුතුවලින් ඔබ්බට දස්කම් දැක්වීමට හැකිවන්නේ ඒ විටයි. මේ වෙනුවෙන් වඩාත් නිවැරදි සැලසුම් අප සතුයි. ඔබ බුද්ධිමත්ව, රට ගැන සිතා හරි තීරණයක් ගත්තොත්, ආර්ථිකය නැවත වරක් ධනාත්මක මාර්ගයට හැරෙමින්, ඔබේත්, රටේත් ඉදිරිගමන සාර්ථක වන බව නොඅනුමානයි." යනුවෙන් පවසා සිටියේය.
- බදු බර 20%කින් කප්පාදු කිරීම. විනාශකාරී බදු අහෝසි කිරීම.
- පොලි අනුපාතය 20%කින් පමණ අඩු කිරීම.
- 2021 වනවිට ඩොලරය, රුපියල් 150ක මට්ටමකටවත් අඩුකර ගැනීම.
- ඊළඟ මාස 18 දී පොලී අනුපාතය පමණක් ගෙවමින් ප්‍රාග්ධන ණය මුදල ඒ ආකාරයටම රඳවා ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතනවල ගනුදෙනුකරුවන්ට අවසර ලබාදීම. CRIB ආයතනයේ රෙගුලාසිවලට අවශ්‍ය වෙනස්කම් කිරීම.
- සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන්ට මූල්‍යමය සහයෝගයක් ලබාදීමට රු.බිලියන 50ක් රජය විසින් බැංකු සහ මූල්‍ය ආයතන හරහා ප්‍රේෂණය වන පරිදි ලබාදීම.
- බැංකු නොවන මූල්‍ය ආයතන ස්ථාවරභාවයට පත් කිරීම සඳහා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා අරමුදලෙන් රු.බිලියන 25ක් වෙන්කිරීම. එසේම, බැංකු සහ මූල්‍ය ආයතන Consolidation සැලසුම නැවත ක්‍රියාත්මක කිරීම.
- දැවැන්ත යටිතල පහසුකම් ඉදිකිරීම් මාලාවක් ආරම්භ කිරීම. කි.මී.600කින් සමන්විත ඉලිප්සාකාර අධිවේගී මාර්ග පද්ධතිය ආරම්භ කිරීම.
- සමෘද්ධි බැංකුවේ ගිණුම්වල ඇති මුදලෙන් 25%ක් ඔවුනට මුදවා හැරීම.
- ආයෝජන මණ්ඩලය වෙත යොමුකෙරෙන ඉල්ලුම් පත්‍ර සති 4ක් තුළ අනුමැතිය ලබාදීම. ඉදිකිරීම් සැලසුම් සති 2ක් තුළදී අනුමැතිය ලබාදෙන ආකාරයට පසුබිම සැකසීම.
- 2025 වසර වනවිට ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියන 5ක සංඛ්‍යාවක් ගලාඑන ආකාරයට සැලසුම් ක්‍රියාත්මක කිරීම.
- හම්බන්තොට වරාය සහ අනෙකුත් සම්පත් නැවත පවරා ගැනීම සඳහා සාකච්ඡා ඇරඹීම. ශ්‍රී ලංකා-සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සහ යෝජිත මිලේනියම් චැලේන්ජ් ගිවිසුම වැනි ගිවිසුම් වහාම නැවත සලකා බැලීමට කටයුතු කිරීම.
- ශ්‍රී ලංකාව නැවත සන්නාම (re-brand) කිරීම.