සැබෑ සුරා බදු ආදායම අය කර ගැනීමට වත්මන් ආණ්ඩුවලට පමණක් නොව මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට පවා නොහැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ සුරා බදු ආදායම ඉහළ නංවා ගැනීම යනු මධ්යචසාර භාවිතය වැඩි කිරීම නොව බදු ක්‍රියාවලිය විධිමත් කිරීම බවයි. ලංකා සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් අමාත්යිවරයා මේ බව කියා සිටියේ ය.
“බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙරට සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමට පෙර 1810 තරම් ඈත යුගයේ දී පවා රජයේ ආදායමෙන් 7.6%ක් විතර ලබාගෙන තියෙන්නෙ සුරා බදු ආදායමෙන්. එම වසරේ රටේ සමස්ත ආදායම රික්ස් ඩොලර් 268,700ක් පමණ වෙද්දි සුරා බදු ආදායම රික්ස් ඩොලර් 20,500ක් විතර වෙලා තියෙනවා. නමුත් එවකට සිටි බ්‍රිතාන්‍ය ජාතික ආදායම් කොමසාරිස්වරයා සඳහන් කරනවා අපට වඩා විශාල මුදලක් ව්‍යාපාරිකයන් මේ සුරා ආදායම් ලෙස ලබා ගන්නවා විවිධ උපක්‍රම භාවිත කළා කියලා. මේකෙන් පැහැදිලි වන එක දෙයක් තමයි, හරියට සුරා බදු ආදායම උපයා ගන්න සුද්දටත් බැරි වෙලා තියෙනව කියන කාරණාව” යැයි අමාත්‍යවරයා පැවැසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව 2004 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ මෙරට සුරා කර්මාන්තය 95%ක වර්ධනයක් අත්කරගෙන තිබේ. එහෙත් එහි නීත්‍යනුකූල පාර්ශ්වයේ වර්ධනය පෙන්නුම් කරන්නේ 50%ක් ලෙසය. නීත්‍යනුකූල නොවන මධ්‍යසාරවල වර්ධනය 300%ක් ලෙස දැක්වෙයි.
“මේ විදියට 300%ක් වර්ධනය වූ නීත්‍යනුකූල නොවන මධ්‍යසාර අපි කියන කැළේ කොළේ බඩවැටියේ නිෂ්පාදනය කරන ඒව නෙවෙයි. සමහර අවස්ථාවල මේ වර්ධනය සුරා බලපත්‍රය අරගෙන ටයිපටි දාගෙන ව්‍යාපාර කරන සමහර අයගෙනුත් සිදු වෙනවා.” යැයිද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.