පැතිරීයාමේ දැඩි අවදානමක් සහිත නව කොරෝනා (කොවිඩ්-19) වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද මුළු රටටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත කොළඹ මැනිං තොග වෙළෙඳ පොළේ දෛනික කටයුතුවල යෙදෙන්නන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මුඛ හා අත් ආවරණ තොගයක් පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගර (පෝට්සිටි) ව්‍යාපෘතිය ඊයේ (05දා) කටයුතු කළේය.
මේ සමගම කොළඹ මැනිං වෙළෙඳ පොළේ දෛනික කටයුතු අධීක්ෂණයට ලක්කරන ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ ප්‍රයෝජනය පිණිසද විශේෂ මුඛ හා අත්ආවරණ තොගයක් පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කටයුතු යොදා තිබුණි. මීට අමතරව තවත් මුඛ හා අත් ආවරණද ඇතුළත්ව විශේෂ පෞද්ගලික ආරක්ෂණ උපාංග විශාල තොගයක් ඉදිරි සතියේදී රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා රාජකාරිවල නිරතවන්නන් වෙත ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කටයුතු යොදා ඇත.
මෙම පරිත්‍යාගයන්හි මුළු වටිනාකම රු.ලක්ෂ 60 ඉක්මවන අතර, ඉදිරියේදී ත්‍රිවිධ හමුදාවන් සහ අනෙකුත් ඉදිරිපෙළ සේවාවන් ඉටුකරන පුද්ගලයන් වෙනුවෙන් විවිධ පරිත්‍යාග සිදුකිරීමට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.
මැනිං වෙළෙඳ පොළේ දෛනික සේවා කටයුතුවල යෙදෙන්නන් වෙත පුද්ගලික ආරක්ෂණ උපාංග ප්රදානය කිරීමේ අවස්ථාවට කොළඹ දිසාවභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ CHEC Port City Colombo සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ජියැං හූලියන්ගුයි මහතා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
මේ ව්‍යසනකාරී මොහොතේ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පරිත්‍යාග කළ භාණ්ඩ තොගයේ ශ්‍රී ලංකා සහ චීන ධජය යටින් සඳහන් වූයේ මෙවැනි වැකියකි.
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන...
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන...
කොවිඩ්-19 තත්ත්වය හමුවේ මුඛ ආවරණ සහ අනෙකුත් ආරක්ෂක පැළඳුම්වලට විශාල ඉල්ලුමක් ඇතිවීම නිසා වෙළෙඳ පොළ තුළ එම උපකරණවල දැඩි හිඟයක් ඇතිව තිබේ. මෙම දුෂ්කර අවස්ථාවේදීත් සමස්ත රටටම ප්‍රමාදයකින් තොරව නැවුම් කෘෂි නිෂ්පාදන බෙදාහැරීමෙහිලා කොළඹ මැනිං තොග වෙළෙඳ පොළ සහ එහි සේවකයන් ඉටුකරන කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා මෙම ප්‍රදානයන් සිදුකිරීමට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පියවර ගෙන තිබුණි.
මෙම වසංගතයෙන් මිදීමට රජය ගන්නා උත්සාහයට අත්වැලක් වෙමින්, මෙම අවස්ථාවේදී වගකීම්සහගත ලෙස කටයුතු කරමින් නිවෙස්වලම රැඳෙන ලෙසත්, යහපත් සනීපාරක්ෂක පුරුදු පවත්වා ගන්නා ලෙසත්, පවතින තත්ත්වය පිළිබඳව නිරතුරුවම අවධානයෙන් පසුවන ලෙසත් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලා සිටියි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක්ලෙස අලුතින්ම ඉදිවන මූලික ආයෝජනය ඇ.ඩො.බිලියන 1.4ක් සහ සමස්ත ආයෝජන වටිනාකම ඇ.ඩො.බිලියන 15ක් වන නව්‍යතම නගර සංවර්ධන ව්‍යාපෘතියකි. මුහුද ගොඩකිරීමෙන් බිහිකරන හෙක්ටයාර 269ක මෙම අලුත්ම භූමි ප්‍රමාණය වත්මන් කොළඹ වාණිජ කලාපයට සහසම්බන්ධ කෙරෙයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, යාත්‍රාංගනය හා දූපත් වාසය ලෙස අනු කලාප 5කින් සමන්විතය.
ඉදිකිරීම් අවසන්වූ විට කොළඹ වරාය නගරය, වර්ග මීටර් මිලියන 5.7ක් වූ භෞමික අවකාශයක නිර්මාණය වූ ලොව උසස්ම මට්ටමේ ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අති නවීන සෞඛ්‍ය සේවා, ප්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු යාත්‍රාංගන, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම සඳහා වෙන්වූ විශේෂිත පහසුකම්වලින්ද සමන්විතය. නූතන පරිසර හිතකාමී තිරසාර නගර සංකල්පය සහ සුහුරු නගර සංකල්පය අනුව ඉදිවන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේම කේන්ද්‍රීය මධ්‍යස්ථානය වනු ඇත.