ශ්‍රී ලංකන් ගුවන් සේවය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දිවයිනේ සංචාරක කර්මාන්තය යථාතත්ත්වයට පත් කිරීම සඳහා දරනලද උත්සාහය පසුගියදා ගෝලීය සම්මානයට පාත්‍ර වී තිබේ.
ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association) සම්මාන උළෙලේදී ‘හොඳම අලෙවිකරණ නවෝත්පාදන’ (Best Marketing Innovation’ ) සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පිදුම් ලැබූ අතර, ඊට අමතරව, අඛණ්ඩව 3 වැනි වරටත් ප්‍රධාන ගුවන් සමාගම් කාණ්ඩයේ තරු 4 පන්තියේ සේවා ඇගයුම් (Four Star) ලැබීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් විම මෙහි ඇති විශේෂත්වය බව ඔවුහු පවසති.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා, “අපගේ සංචාරක කර්මාන්තය විනාශකාරී සිදුවීමකින් පසු නැවත යථාතත්ත්වයට පත්වෙමින් පවතින මොහොතක අපේ රටට හිමිවූ සම්මානයක් ලෙස අප මේ සම්මානය සලකනවා. රටවල් ගණනාවක මිලියන සංඛ්‍යාත ජනකායක් වෙත ළඟා වූ මෙම නව්‍ය අලෙවිකරණ වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අපගේ කාර්ය මණ්ඩලයේ සිය ගණනක් සාමාජිකයන්ට මෙහි සියලුම ගෞරවය හිමි විය යුතුයි.” යනුවෙන් පවසා සිටියේය.