ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) සභාපති කීත්.ඩී.බර්නාඩ්, උප සභාපති ජී.යූ.කේ. අල්ගේවත්තගේ සහ අතිරේක වැඩබලන කළමනාකාර අධ්යක්ෂ ඇච්. ඇම්. ප්‍රභාත් ජයන්ත යන මහත්වරුන් පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සංකීර්ණයේ දෙදින සංචාරයක නිරත වූහ.
මෙසේ පැමිණි නියෝජිත පිරිස පිළිගත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (HIPS) සමාගම් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, පසුගිය වසර 5 තුළ වරාය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඔවුන් දැනුවත් කළ අතර, වරායේ ඉදිරි වර්ධනය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
“වරාය ක්‍රියාකාරකම් වර්ධනය කිරීම සඳහා දේශීය කර්මාන්ත සමඟ ඒකාබද්ධ වෙමින් අප ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්රමුඛ නියෝජිත පිරිස සමඟ සමීප සාකච්ඡා පැවැත්වීමට HIP ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයට හැකිවීම අප අගය කරනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය HIP හි ව්‍යාපාර හවුල්කරුවෙකු වන අතර, මෙම සංචාරය මෙන්ම අප වෙත ලබාදෙන සහයෝගය, අපගේ ගෝලීය හවුල්කරු CMPort සහ අධිකාරිය අතර ඇතිකර ගත් රාජ්‍ය-පෞද්ගලික ගිවිසුම තවදුරටත් තහවුරු කිරීමක්” යැයි HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු පවසයි.
වරායේ ප්‍රගතිය පිළිබඳ තෘප්තිමත් වූ වරාය අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහයෝගීතාව HIP හට සෑමවිටම ලබාදීමට තමන් සූදානම්ව සිටින බව ප්‍රකාශ කළේය.