වැඩි වශයෙන් ආයෝජන ආකර්ශණය කර ගැනීම හා ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පහසු කිරීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩි බලතල සහිත ආයතනයක් බවට පත් කරන්නේ යැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
කලාපයේ අනෙක් රටවල් හා සැසදීමේදී ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට වැඩි වෙහෙසක් දැරිය යුතුය. ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර ඇතැම් ව්‍යාපෘති සදහා ආයතන 70කින් පමණ විවිධ අනුමැතීන් ලබාගත යුතුය. මෙම තත්ත්වය ආයෝජකයන් මෙරට ආයෝජනයට මැලිකමක් දක්වයි.
මෙම ක්‍රමයෙන් බැහැරව ආයෝජකයෙකුට මෙරටට පැමිණි විගසම සිය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිය හැකි (Plug & Play) වැඩ පිළිවලක් සකස් කරන බවද හෙතෙම පවසයි. මේ අනුව යම් ව්‍යාපෘතියකට අවශ්‍ය සියළු අනුමැතීන් ලබා ගැනීමෙන් පසු ආයෝජකයන්ට ආයෝජනය සදහා ආරාධනා කරන බවත්, ඔවුන්ට ඇත්තේ ගිවිසුම්ගත වීමත් සමග ව්‍යාපෘති ආරම්භ කිරීම පමණක් බවද හෙතෙම පෙන්වා දෙයි.
රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති නියෝජනය කරමින් එක්වූ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ නියෝජිත හමුවේදීය.
"පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට දීර්ඝ කාලීන හා ස්ථාවර විසඳුම වන්නේ සංචාරක ව්‍යාපාරය හා සෘජු විදේශ ආයෝජන ලබා ගැනීමයි. මෙම තත්ත්වය තුළ ආයෝජන මණ්ඩලයට පැවැරී ඇති ජාතික වගකීම අති විශාලයි. ආයෝජන ඉහළ නැංවීම තුළින් අපනයන ආදාම ඉහළ නැංවීම මෙන්ම, රුපියල ශක්තිමත් විමද අපේක්ෂා කරනවා. ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් වැඩි කාර්යක්ෂමතාවකින් අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කරනු දැකීම ජනාධිපතිතුමාගේද අපේක්ෂාවයි" අමුණුගම මහතා පැවසීය.
ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැදවුම්කරු මහේෂ් අබේගුණවර්ධන මහතා අදහස් දක්වමින්, ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් රාජ්‍ය ආයතන තුලින් අනුමැතීන් ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ප්‍රමාදයන් ලෙස සැලකෙන බවත්, පසුගියදා මහනුවර කුරුළු උද්‍යානය සදහා සිදු ප්‍රමාදයත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රමාදක් ලෙස, ජනගත වූ බවත් සැබැවින්ම එය සිය ආයතනයේ ප්‍රමාදයක් නොවන බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ශක්තිමත් කරමින් ආර්ථිකයට ශක්තියක් වෙමන් රජය ගෙන යන වැඩ පිළිවලට සියලු සේවක සහාය ලබාදෙන බවද අබේගුණවර්ධන මහතා පැවසීය.