ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෑතකදී හඳුන්වා දුන් විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක් හේතුවෙන් එම සමාගමේ අත්‍යවශ්‍ය සේවාවන්හි නිරතවී සිටි සේවකයන් පිරිසක් සමාගමෙන් ඉවත්වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය සහ පදනම් විරහිත බව එම සමාගම නිවේදනය කරයි.
රටේ වෙනත් සමාගම් හා ආයතන මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන්ද ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයන් හේතුවෙන් විදේශීය රටවල්වල සේවය සඳහා යොමුවීමේ ප්රවනතාවයක් පවතින නමුත්, එය කිසිසේත්ම මාධ්‍ය මගින් ප්‍රචාරය වන ආකාරයේ ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාමේ ක්‍රමයකට සම්බන්ධයක් නොමැති බව සමාගම කියයි. එමෙන්ම පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය කිසිදු අවස්ථාවක ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයක් සේවකයන් සඳහා හඳුන්වා දී නොමැති බවද පෙන්වා දෙයි.
සාමූහික හැඟීමෙන් සහ කැපවීමෙන් රාජකාරි ඉටුකරන කාර්යමණ්ඩලයක් ගුවන් සමාගම සතු වන අතර, සමාගමේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම සඳහා ඔවුන් විවිධ කැපකිරීම් සිදුකර ඇති බවත්, ඔවුන්ගෙන් නිරන්තරයෙන් ලැබෙන දායකත්වය අතිමහත් බවත් සමාගම කියයි. එමෙන්ම පිරිවැටුම වැඩිකර ගනිමින් දක්ෂ සේවක සේවිකාවන් සමාගම තුළම රඳවා ගැනීම සඳහා ගුවන් සමාගම පසුගිය කාලය තුළ පියවර රැසක් ගෙන ඇති අතර, කෙටිකාලීනව ඇතිවන මානව සම්පත් හිඟයන් හේතුවෙන් සමාගමේ කටයුතුවලට ඇතිවන බලපෑම් අවම කිරීම සඳහා කාර්යමණ්ඩලයට අවශ්‍ය පුහුණුව සහ සහයෝගය නොපමාව ලබාදීමටද කටයුතු කර ඇති බවත් පෙන්වා දෙයි. මීට අමතරව, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට ශ්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් පවසා සිටියි.