භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව, විමර්ශනය කිරීම සඳහා පත් කරනලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයට අනුකූලව, මහ බැංකුව විසින් සිදුකරන ලද වෝහාරික විගණනයේ මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා 05 ට, අදාළ ඇමුණුම් හා ප්රදර්ශක මේ වනවිට පාර්ලීමේන්තුවට ලැබී ඇති බව කියයි.
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කරයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,
මීට පෙර පාර්ලිමේන්තුවට ලබා දී තිබූ වෝහාරික විගණන වාර්තාවේ අදාළ ඇමුණුම් හා ප්රදර්ශක නොතිබූ අතර, එම තොරතුරු සහිතව සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙස, කථානායක කරු ජයසූරිය මහතාගේ උපදෙස් මත, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පසුගියදා, ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා වෙත ලිඛිතව දන්වනු ලැබීය.
අදාල ඇමුණුම් හා ප්රදර්ශක නොමැතිව විගණන වාර්තා සම්පුර්ණ නොවන බවට රජයේ හා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අතර, මෙම වෝහාරික විගණන වාර්තාව සම්බන්ධව විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන මස (පෙබරවාරි ) 18 හා 19 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.