ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2%ක් දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමග දේශීය මුදල් වෙළෙඳ පොළ වෙත රු.බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් හෙවත් වහා ගනුදෙනු කළ හැකි මුදල් ප්‍රමාණයක් මුදා හැරීමෙන් වාණිජ බැංකුවල ණය ලබාදීමේ හැකියාව ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 වැනි දින පැවති රැස්වීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමේ මෙම ක්‍රියාමාර්ගය තුළින් වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත්, ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලායෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබාදෙන බව මහ බැංකුව පෙන්වා දෙයි.
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (Statutory Reserve Ratio/SSR) යනු වාණිජ බැංකු විසින් සිය තැන්පතු වගකීම්වලින් කිසියම් ප්‍රතිශතයක් මුදල් තැන්පතුවක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි පවත්වාගෙන යායුතු ප්‍රමාණයයි. මුදල් නීති පනත අනුව වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිශ්චය කරනු ලබන ප්‍රමාණයක සංචිතයක් මහ බැංකුවෙහි පවත්වාගෙන යායුතු වේ. වර්තමානයේදී ශ්‍රී ලංකා රුපියල්වලින් වාණිජ බැංකුවල පවත්වා ගනු ලබන ඉල්ලුම්, කාලීන හා ඉතුරුම් තැන්පතු ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවට යටත් වේ.
මෙම අනුපාතය බැංකුවල මුදල් මැවීමේ (ණය ලබාදීමේ) හැකියාව සීමා කිරීමට පනවන රෙගුලාසියකි. ඊට හේතුව නම්, බැංකු වෙත ලැබෙන තැන්පතුවලින් සංචිත අනුපාතයට තැබිය යුතු මුදල් ප්‍රමාණය ණයදීමේ ක්‍රියාවලියෙන් ඉවත් වන බැවිනි. එහිදී සංකෝචනාත්මක මූල්‍ය ප්රතිපත්තියකදී සංචිත අනුපාතය ඉහළ දැමීමක් සිදුවන අතර, ප්‍රසාරණාත්මක මූල්‍ය ප්රතිපත්තියකදී සංචිත අනුපාතය පහළ දැමීමක් සිදුකරනු ලබයි. සංචිත අනුපාතය ඉහළ දැමූවිට බැංකු ක්රමයේ මුදල් මැවීමේ හැකියාව පහළ යන අතර, සංචිත අනුපාතය පහළ දැමූ විට මුදල් මැවීමේ හැකියාව ඉහළ යනු ඇත. මේ අනුව පෙරේදා (16දා) දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ ප්‍රසාරණාත්මක මූල්‍ය ප්‍රතිපත්තිය නිසා බැංකු ක්රමයේ මුදල් මැවීමේ (ණය ලබාදීමේ) හැකියාව ඉහළ යෑමක් සිදුවෙයි.
ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කිරීම සහ බැංකු අනුපාතිකය පදනම් අංක 550කින් අඩු කිරීම ඇතුළුව, දැනටමත් ක්‍රියාවට නංවා ඇති අනෙකුත් බොහෝ ලිහිල්කරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අමතරව පෙරේදා ගත් දින මෙම තීරණයත් සමග 2020 වසරේ මේ දක්වා කාලය තුළදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300කින් පහළ දමා ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.
අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශය විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ අරමුදල් පිරිවැය පහළ යෑමෙහි ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා කටයුතු කරනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. මුදල් මණ්ඩලය විසින් ආර්ථික සහ මූල්‍ය වෙළෙඳ පොළ වර්ධනයන් අඛණ්ඩව සුපරීක්ෂණය කරනු ඇති අතර, ඉදිරි කාලයේදී ආර්ථික ක්රියාකාරිත්වයෙහි තිරසාර නඟා සිටුවීමකට සහාය වීම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගනු ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.