පොලී අනුපාතය අඩු කරන්න යැයි මහ බැංකුව නියෝග කර තිබුණද, එය දැනට වසර දෙකකට පමණ පෙර ආර්ථික ක්‍රමවේදය තුළින්ම සිදුවෙන්නට ඉඩදිය යුතුව තිබූ දෙයක් බවත්, මෙවැනි දෙයක් හදිසියේ 'ලයිට් ඔන්-ඕෆ්' කරන ආකාරයෙන් කළ නොහැකි බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකාව මෑත කාලීනව සිදුකළ ණය අනුපාතික කප්පාදුව, බැංකුවල ශුද්ධ පොලී ආන්තිකයන් සම්පීඩනය කර, ඒවායේ පවත්නා ලාභදායීත්වය අභියෝගයට ලක්කර ඇති බවට මූඩීස් ශ්‍රේණිගත කිරීමේ ආයතනය දක්වා ඇති අදහස සම්බන්ධයෙන් හිටපු අධිපතිවරයා 'අද ව්‍යාපාරික පිටුව' වෙත මෙසේ සඳහන් කළේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
"අපේ බැංකු ක්ෂේත්රයේ දුර්වලතාවක් ඇති බව මූඩීස් පැහැදිලිවම කියා තිබෙනවා. එය දැන් වර්ධනය වෙනවා. ඇත්තටම ඔවුන් පැවසූ දේ නිවැරදියි. මොකද, පොලී අනුපාතය වැඩිවී, ආර්ථිකය සංකෝචනය වනවිට සාමාන්‍යයෙන් ඕනෑම ආර්ථිකයක බොල් ණය ඉහළ යනවා. ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට ජනතාව පත්වීම මීට හේතුවයි. සාමාන්‍යයෙන් හොඳයි කියා සිතූ ගනුදෙනුකරුවන් පවා ණය ගෙවාගැනීමට නොහැකි ගොඩට වැටෙනවා. අද එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ පවතිනවා. එය ඕනෑම රටක ආර්ථිකයට ඉතා භයංකාර තත්ත්වයක්. ඉතිං මේ තත්ත්වය සමනය කිරීමට තමයි, හදිසියේම පොලී අනුපාතය අඩු කරන්න කියලා රජය සහ මහ බැංකුව නියෝග කරන්නේ. නමුත්, මා විශ්වාස කරන හැටියට, ඒ තත්ත්වය ආර්ථික ක්‍රමවේදය තුළින්ම සිදුවෙන්න මොවුන්ට ඉඩදෙන්න තිබුණේ දැනට අවුරුදු දෙකකට විතර කලිනුයි. මේවා එක පාරටම 'ලයිට් ඔන්-ඕෆ්' කරනව වගේ කරන්න බැහැ.
සැබවින්ම, මේ තත්ත්වය ඇති වෙන්නට මේ අය ඉඩ දුන්නා. ඒ කියන්නෙ, හැම තිස්සෙම මේ ප්‍රශ්න මතුවද්දී, ඒ කිසිවක් කෙරෙහි හිත යොමු නොකර කටයුතු කළා. අද ඇතිවී තිබෙන මේ තත්ත්වයට හේතුව එයයි. ඒ නිසා එක්වරම 'ලයිට් ඔන්-ඕෆ්' කරනව වගේ, පොලී අනුපාතය අඩු කරන්න යැයි නියෝග දෙනවා. නියෝගවලින් ආර්ථිකයක් ගෙනියන්න බැහැ. සාමාන්‍යයෙන් සිදුවන්නේ එහි අනෙක් පැත්ත. දැන් පොලී අනුපාතය අඩුකිරීම නිසා තවදුරටත් ණය නොදී ඉන්නවා. ගෙවාගැනීමට හිටපු අයටත් ණයක් ගැනීම අපහසු වෙනවා. ඉතිං මේ තත්ත්වය මූඩිස් හරියට දැක තිබෙනවා. ඒ නිසා තමයි, ඔවුන් මෙසේ කියා ඇත්තේ. මේ සඳහා පිළිතුරු සපයන්න නම් සාර්ව ආර්ථික සාධක සියල්ලම නිසි මාර්ගයට ගෙනයෑමට අවශ්‍යයි." යැයි පවසා සිටියේය.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ රුපියල අවතක්සේරු වීම අපනයන සහ ආනයන ආදේශන ව්‍යාපාරවල අයිතිකරුවන්ට යහපත් බවට වත්මන් මහ බැංකු අධිපතිවරයා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.
"මහ බැංකු අධිපතිවරයා සාමාන්‍ය පාරිභෝගිකයෙක් හැටියට, අපනයන හෝ ආනයනකරුවෙකු හැටියට තමයි කතා කරල තියෙන්නෙ. එය වැරදියි. මොකද, මහ බැංකුවේ අධිපතිවරයා තමයි, ආර්ථිකය හසුරුවන්නෙ. ආර්ථිකය යම්කිසි තැනකට ගියාට පස්සෙ ඒ පිළිබඳ විග්රහ කිරීම මහ බැංකු අධිපතිවරයාගේ කාර්යභාරය නොවෙයි. ඒ වෙනුවට, මහ බැංකු අධිපතිවරයා කරන කටයුතු අනෙක් අය විග්රහ කළ යුතුයි. මෙතැන, මහ බැංකු අධිපතිවරයා සිදුවෙලා තියෙන දේ විග්රහ කරනවා. ඔහු ආර්ථිකය ගමන් කළ යුතු දිශාවට ආර්ථිකය හැසිරවිය යුතුයි. යම්කිසි තැනකට ගියාට පස්සෙ, අන්න මෙතනට ඇවිල්ල කියන එක වැඩක් නැහැ.
අද රුපියල අවප්‍රමාණය වෙලා. ඩොලරයට සාපේක්ෂව රු.131 තිබුණු රුපියල, අද රු.183යි. ඉතිං මිනිස්සුන්ට ගනුදෙනු කරන්න බැහැ. සාමාන්‍ය රටක ඉතාම ශීඝ්‍රයෙන් ඒ අයගේ මුදල් ඒකකය කඩාගෙන වැටෙනවා නම්, ඒ රටේ ඉතාම අස්ථාවර තත්ත්වයක් තියෙනවා කියල තමයි, ඕනෑම කෙනෙකුට හැඟී යන්නේ. දැන් අපි රටක් දිහා බලද්දි, ඒ රටේ මුදල් ඒකකය කඩා වැටෙනවා නම්, අපි ඒ රට ගැන තියෙන ආකල්පය මොකක්ද? ඒ රටේ විශාල අර්බුදයක් තියෙනව කියල අපිට හිතෙනවා. ඒ වගේම තමයි, ශ්‍රී ලංකාව දෙස බලන ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකාවේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා කියල පේනවා. එසේ සිදුවූ විට, මෙයින් යම්කිසි පොඩි වාසියක් වෙනවා, තව මොකක් හරි වෙනව කියල කියන එක නොවෙයි හපන්කම. එවැනි දෙයක් නොවෙන්නට ආර්ථිකය හසුරුවා ගැනීමයි, හපන්කම.
ඒ සමගම රුපියල අවප්‍රමාණය වුණාම, රටේ ණය තොගය දැවැන්ත ලෙස වැඩිවෙනවා. අද වනවිට අපේ රාජ්‍ය ණය පසුගිය වසර හතර තුළ පමණක් රු.බිලියන 1,760කින් වැඩිවෙලා යැයි මහ බැංකු වාර්තාවලම තියෙනවා. ඒ කියන්නෙ, හම්බන්තොට වරාය හදන්න ගියේ, රු.බිලියන 135යි. රුපියලේ අවප්‍රමාණය නිසා රු.1,760කින් අපේ ණය ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. ඉස්සර මේ අය අපෙන් ඇහුවේ, රු.බිලියන 135ක් වැය කරල හම්බන්තොට වරාය හදන එකේ ප්‍රයෝජනය මොකක්ද කියලයි. අද අහන්න ඕන ප්රශ්නය තමයි, රු.බිලියන 1,760කට ණය වැඩි කරගෙන ඇතිවුණු ප්‍රයෝජනය කුමක්ද යන්නයි. අඩුම තරමින්, මේ අයට විකුණන්න හරි වරායක් හරි තිබුණා. මේ සියලු සිදුවීම් හරිම කනගාටුදායකයි. මේවාට නිදහසට කරුණු නොකියා, නිවැරදිව උත්තර බැඳීමට සියලු වගකිව යුතු පාර්ශ්ව ඉදිරියට පැමිණිය යුතුයි."
.