ශ්‍රී ලංකාවේ ණය ප්‍රාග්ධන වෙළෙඳ පොළ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් වඩාත් උසස් තත්ත්වයකට පත්කිරීමේ අරමුණින් ලන්ඩන් කොටස් හුවමාරු සමූහය (LSEG) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) යන ආයතන අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
මෙය කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි තවත් වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළ අවස්ථාවක් වූ අතර, මෙම ආයතන දෙක අතර තවදුරටත් සහයෝගීතාව නංවාලීම මෙම අවබොධතා ගිවිසුමෙහි අරමුණ වී ඇත.
ලන්ඩන් නුවර පිහිටි ලන්ඩන් කොටස් හුවමාරු කාර්යාලයේදී පැවති මෙම උත්සවයට එක්සත් රාජධානියේ විදෙස් හා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයේ ආසියාව හා පැසිෆික් කලාපය සඳහා රාජ්‍ය අමාත්‍ය මාක් ෆීල්ඩ්, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති රනිල් ටී. විජේසිංහ, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති රේ අබේවර්ධන, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, ලන්ඩන් කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී සහ LSEG හි ජාත්‍යන්තර සංවර්ධන කටයුතු අධ්යක්ෂ නිකිල් රාති මෙන්ම, හුවමාරු සේවා මධ්‍යස්ථානයේ සමූහ ප්‍රධානී සහ ශ්‍රී ලංකා LSEG Technology ප්‍රධානී ඩී. ලියන්වෙල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
මෙරට ණයකර වෙළෙඳ පොළ හා ශ්‍රී ලංකා බැඳුම්කර සඳහා වන අක්-වෙරළ වෙළෙඳ පොළ වර්ධනය කිරීම, උපකාරක සේවා සැපයීම, LSEG Technology වෙතින් ප්‍රාග්ධන වෙළෙඳ පොළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා කොළඹ කොටස් හුවමාරුවට තාක්ෂණික විසඳුම් හා උපකාර සැපයීම, ප්‍රාග්ධන වෙළෙඳ පොළ වර්ගීකරණය හා දර්ශක සැකසීම සඳහා මෙහෙයවීම් හා උපදෙස් සැපයීම සඳහා FTSE රසල් සමාගම විසින් සපයන ප්‍රාග්ධන වෙළෙඳ පොළ වර්ගීකරණය සහ දර්ශක සැකසීම යනාදී මෙහෙයවීම් හා උපදේශක සේවා සැපයීම සහ ජාත්‍යන්තර ප්‍රධාන සුරැකුම් තැන්පතු (iCSD) ආයතනය සමග සබඳතා වර්ධනය කරලීම ආදී කටයුතු සඳහා කොළඹ කොටස් හුවමාරුවට පූර්ණ සහයෝගය ලබාදීම වෙනුවෙන් LSEG ආයතනයට මෙම අවබෝධතා ගිවිසුම තුළින් හැකි බව ඔවුහු පවසති.
මෙම උත්සව අවස්ථාව ආරම්භයේදී, පසුගිය පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවට එල්ල වූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහිකිරීම පිණිස විනාඩියක නිහැඬියාවක්ද පවත්වමින් සිය ගෞරවය දක්වා තිබුණි.