වෙළෙඳපොළ මාර්ගෝපදේශනයක් ලෙස විදේශ විනිමය ගනුදෙනු සිදුවන්නේ කුමන මට්ටමකද යන්න පිළිබඳව මුදල් මණ්ඩලයේ 'අපේක්ෂාව' ප්‍රකාශ කරමින්, එවකට මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා රුපියල නම්‍යශීලීභාවයට ලක් කිරීමට පැහැදිලි තීරණයක් ගත් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
2022 මාර්තු 7 වැනි දින මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද විනිමය අනුපාතිකයට වැඩි නම්‍යශීලී බවක් ලබාදීමට ගත් තීරණයේ පසුබිම පැහැදිලි කරමින් හිටපු අධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකරයි.
ඒ අනුව, 2022 මාර්තු 7 වැනි දින "වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළෙඳපොළට ඉඩ සැලසනු ලැබේ" යැයි මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලද බවත්, "විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රු.230කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි" යනුවෙන්ද පවසමින්, ඉහත තීරණයට අනුකූලව එදිනම මාධ්‍ය වෙත නිවේදනයක්ද නිකුත් කරන ලද බවත් හිටපු අධිපතිවරයා පවසයි.
ඉහත කරුණු අනුව, වෙළෙඳපොළ මාර්ගෝපදේශනයක් ලෙස විදේශ විනිමය ගනුදෙනු සිදුවන්නේ කුමන මට්ටමකද යන්න පිළිබඳව මුදල් මණ්ඩලයේ 'අපේක්ෂාව' ප්‍රකාශ කරන ලද අතර, ශ්‍රී ලංකා රුපියල නම්‍යශීලීභාවයට ලක් කිරීමට මුදල් මණ්ඩලය පැහැදිලි තීරණයක් ගෙන ඇති බව පැහැදිලි යැයිද හිටපු අධිපතිවරයා පෙන්වා දෙයි. එසේම, 2022 මාර්තු 7 වැනි දිනට පෙර තිබූ ආකාරයට නිශ්චිත විනිමය අනුපාතිකයක් නියම නොකරමින්, මෙම නව විනිමය අනුපාත ප්‍රතිපත්තිය (Exchange Rate Policy) 2022 අප්‍රේල් 8 වැනි දින සිට නව මහබැංකු අධිපතිවරයා සහ නව භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ මුදල් මණ්ඩලය දිගටම පවත්වාගෙන යන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පවසා සිටියි.