අලුත් ලෝකය සමග ඉදිරියට යාමට හැකිවන්නේ රැකියා පෝලිම් සාදා, රාජ්‍ය ආයතන පිරවීමෙන් නොවන බවත්, දැන් මාළු බෙදූ කාලය අවසන් අතර, ඇරඹිය යුත්තේ බිලීපිති දිය යුතු කාලය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ රුහුණු විශ්වවිද්‍යාලයේ, රබින්ද්‍රනාත් තාගෝර් ශාලාවේදී පසුගියදා පැවති 'දේශපාලනයේ දශක තුනක්' කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා,
"අලුත් ලෝකය සමග ඉදිරියට යාමට හැකිවන්නේ රැකියා පෝලිම් හදා, රාජ්‍ය ආයතන පිරවීමෙන් නොවෙයි. දැන්, මාළු බෙදපු කාලය ඉවරයි. දැන් බිලීපිති දිය යුතුයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැනි ණය යෝජනා ක්‍රම මගින් අප කරන්නේ ස්වශක්තියෙන් නැඟී සිටින ව්‍යවසායක පරපුරක් රට තුළ නිර්මාණය කිරීමයි. ඊළඟ අවුරුදු පහ මම වෙන් කරන්නේ ඒ ස්වශක්තියෙන් නැඟිටින මිනිස්සු වෙනුවෙනුයි.
මේ රටේ තරුණ තරුණියන් වෙත මට දෙන්න පණිවිඩයක් තිබෙනවා. ඒ තමයි, තාක්ෂණයෙන්, ඇඳුම් පැළඳුම්වලින් විතරක් නෙමෙයි, ආකල්පවලිනුත් ස්මාට් විය යුතුයි. අපි එදා මැදිහත්වී කළ ටෙලිකොම් විප්ලවයෙන් පසු දැන් ඔබලා හැමෝම අතේ ජංගම දුරකථන තිබෙනවා. ඔබේ ස්මාට්ෆෝන් එකෙන් ගෝත්‍රික වැඩ නොකර, ජාතිවාදය වපුරන්නේ නැතුව මේ රට ස්මාට් රටක් කරන්නට අදිටන් කරගන්න." යැයි පවසා සිටියේය.