මූඩීස් ඉන්වෙස්ටර් සර්විසස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය නැවත වරක් පහළ දමනු ලැබූ බවට නිවේදනය කරන ලද අතර, ඒ අනුව මූඩීස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය Caa1 සිට Caa2 දක්වා පහත හෙළා තිබුණි.
මේ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි අප්‍රසාදය පළ කරනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළ අතර, මෙම ක්‍රියාවලිය මෙයට මාස තුනකට පෙර මේ ආකාරයටම ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම සඳහා සමලෝචනයකට යටත්ව පවත්වා ගැනීමෙන් අනතුරුව සිදුකර ඇති බවද මහ බැංකුව කියයි.
ඒ අනුව නැවත වතාවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මූඩීස් ආයතනයේ අතාර්කික ශ්‍රේණිගත කිරීම, වැදගත් සිදුවීමකට දින කිහිපයකට පෙර, එනම් 2022 වසර සඳහා වන රජයේ අයවැය ප්‍රකාශයට පත්කිරීමට පෙර, සිදුවීම තුළින් ඔවුන්ට ඇති අනවශ්‍ය ඉක්මන් භාවය පෙන්නුම් කරන අතරම, රජයේ මූල්‍යන සැලසුම්වලට අයවැයෙහි ස්වභාවය අදාළ නොවන බවට මූඩීස් විශ්ලේෂකයන් සමග සිදුකරන ලද සාකච්ඡාවලදී ඔවුන්ගෙන් ප්‍රකාශ වූ මතය පැහැදිලිවම එවැනි විශ්ලේෂකයන්ගේ පවත්නා අනවබෝධය විදහා දක්වන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙමගින් මෙවැනි ආයතනවල පාලනයෙහි ඇති දුර්වලතා පිළිබිඹු කෙරෙන බවත්, මෙම ආයතන නැගීඑන වෙළෙඳපොළ ආර්ථිකයන්හි ධනාත්මක වර්ධනයන් සහ අපේක්ෂාවන් ක්‍රමානුකූලව නොසලකා හැර සෘණාත්මක අවදානම් සඳහා වැඩි බරක් යොදවන බව පෙන්නුම් කරන බවත් කියයි. 2021 වසරේ ඔක්තෝබර් මස 26 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශයට පත්කළ පරිදි, රටේ විදේශ අංශය ශක්තිමත් කිරීමට අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග රැසක නවතම ප්රවණතා මෙන්ම, ඉන් කිහිපයක අපේක්ෂිත ප්‍රතිඵල දැනටමත් ලැබී ඇති බව ණය ශ්‍රේණිගත කිරීම ඇගයීමේදී අවධානයට ලක්කිරීමට මූඩීස් ආයතනය අසමත්ව ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.