මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම අද (14දා) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී සිදුවිය.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා වූ අතර, ඔහු විසින් 2006 ජූලි මස සිට 2015 ජනවාරි මස දක්වා එම තනතුර හොබවන ලදී.
බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කබ්රාල් මහතා වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයකු වන අතර, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හා දකුණු ආසියානු ගණකාධිවරුන්ගේ සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකුද වෙයි. ආයතනික පාලනය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපදේශකවරයකුද වන ඒ මහතා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ පාලනයේ යහ පුරුදු පිළිබඳ ව්‍යවස්ථා මාලාව වැඩිදියුණු කළ ඒකාබද්ධ පාලන කමිටුවේ හිටපු සභාපතිවරයාද විය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමට පෙර, කබ්රාල් මහතා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ අතර, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙසද කටයුතු කළේය. රජයේ ප්‍රතිපත්ති රාමුව හා සංවර්ධන සැලැස්ම සැකසීම සම්බන්ධයෙන් කටයුතු කළ පුද්ගලයන් අතරින් කෙනෙකු වූ ඔහු උපායමාර්ගික ව්‍යවසායක කළමනාකරණ ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙකු ලෙසද කටයුතු කළේ ය.
රජයට සම්බන්ධ වීමට පෙර කළමනාකරණ උපදේශකයෙකු ලෙස ව්‍යාපාර පුනර්ජීවනය හා නැවත සැකසීම, සැලසුම් කිරීම හා අයතනික පාලනයට අදාළ ව කටයුතු කළ අතර එම අවධියේ ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම් ගණනාවක සහාපතීත්වය සහ/හෝ අධ්යක්ෂ තනතුරු ඔහු විසින් හොබවන ලදී. තවද ඔහු සුරැකුම්පත් හා විනිමය කොමිසම, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය, පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය හා මොරටුව විශ්වවිද්‍යාලය යන ආයතනවල අධ්යක්ෂ මණ්ඩලයේ කටයුතු කළේ ය. කබ්රාල් මහතා ඇමරිකා එක්සත් ජනපදයේ අයිසන්හවර් පදනමේ “2000 Multi – Nation Programme” හි අධි ශිෂ්‍යත්වලාභියෙකි.
වියත්මග සංවිධානයේද ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙසද සුවිශේෂී දායකත්වයක් දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා, අවසන් වරට අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා ලෙස කටයුතු කළේය.