ඕනෑම රටක වඩාත් අගනාම සම්පත වන්නේ මිනිසුන් බැවින්, මිනිසුන් සඳහා ආයෝජනය කිරීම දක්ෂ ආර්ථික ක්‍රමවේදයක් බවත්, ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා එහි මානව ප්රාග්ධනය නැවුම් සහ ඉහළ මට්ටමක් කරා සංවර්ධනය කිරීම ප්‍රධාන වන බවත් නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු අධ්යක්ෂ ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මහත්මිය පවසයි.
සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කිරීමට, ශ්‍රී ලංකාව පුරා සිටින ප්‍රතිපත්ති සම්පාදකයන් සහ සංවර්ධන වෘත්තිකයන්ට මඟපෙන්වන අරමුණින් සකස් කළ, 'ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සංවර්ධනය : මානව ප්රාග්ධනයෙහි පොරොන්දුව සහ විභවතාව යථාර්ථවත් කිරීම' නමැති නව වාර්තාවක් එළිදක්වමින් ලෝක බැංකු අධ්‍යක්ෂවරිය මෙම අදහස් පළ කළාය.
මෙම වාර්තාව, රටක අනාගතය උදෙසා එහි මානව ප්රාග්ධනයේ ඇති අත්‍යාවශ්‍ය වැදගත්කම හඳුනා ගැනෙන, 2018 වර්ෂයේ සිට ලෝක බැංකුව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ගෝලීය ප්රයත්නය වන, මානව ප්‍රාග්ධන ව්‍යාපෘතියේ කොටසකි. උපතේ සිට වැඩිහිටි විය දක්වා දරුවෙකුගේ ජීවන චක්‍රය අනුගමනය කරමින්, රටක මානව ප්රාග්ධනය මනිනු ලබන සහ පුරෝකථනය කරනු ලබන නව මානව ප්‍රාග්ධන දර්ශකයක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.
වාර්තාවට අනුව 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාව දර්ශකයේ ඇතුළත් කොට ඇති රටවල් 157 අතුරින් 74 වැනි ශ්‍රේණියට පත් වෙමින්, සියයට 58ක සමස්ත ලකුණු ප්‍රමාණයක් රැස්කර ගෙන ඇත. ඒ අනුව, 2019 වර්ෂයේදී ගෝලීය වශයෙන් ගත්විට ශ්‍රී ලංකාව මධ්‍යස්ථ කාර්යසාධනය දක්වා ඇති බව වාර්තාවෙන් අනාවරණය වේ. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, වත්මන් අධ්‍යාපන සහ සෞඛ්‍ය තත්ත්ව නොකඩවා පැවතියහොත්, අද දින ශ්‍රී ලංකාවේ උපත ලබන දරුවෙකුගේ ඵලදායී බව වන්නේ, ඔවුන්ට පරිපූර්ණ අධ්‍යාපනයක් සහ පූර්ණ සෞඛ්‍යයක ප්රතිලාභ යටතේ ලැබිය හැකි ඵලදායී බවින් අඩක් පමණක් බවය.
"ඕනෑම රටක වඩාත් අගනාම සම්පත වන්නේ මිනිසුන් බැවින්, මිනිසුන් සඳහා ආයෝජනය කිරීම දක්ෂ ආර්ථික ක්රමවේදයයි. තාක්ෂණය සහ ස්වායත්තකරණය මගින් රැකියාවල නියම ස්වභාවය මූලික ලෙස වෙනස් කරමින්, කර්මාන්තය යළි හැඩ ගැස්වෙමින් තිබෙනවා. වර්තමානයේදී ප්‍රාථමික පාසල්වල සිටින දරුවන් දැනට නොපවතින රැකියාවන්වල පවා අනාගතයේදී නිරත වීමේ සම්භාවිතාවක් පවතිනවා. එහිදී, ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා එහි මානව ප්රාග්ධනය නැවුම් සහ ඉහළ මට්ටමක් කරා සංවර්ධනය කිරීම ප්‍රධාන වෙනවා." යැයි ලෝක බැංකු අධ්යක්ෂ රිඩ්ඩිහොග් මහත්මිය පැවසුවාය.
කෙසේ වෙතත්, මෙම වාර්තාවට අනුව දකුණු ආසියාවෙන් ඉහළම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාව සතු වන අතර, එය කලාපයේ සහ ආදායම් කාණ්ඩයේ සාමාන්‍යයට වඩා ඉහළය. මෙහිදී, ශ්‍රී ලංකාවට ඉහළ ලකුණක් අත්කර ගැනීමට බලපාන ප්‍රධාන බාධක වන්නේ, අවම පෝෂණය සහ සාමාන්‍යයක් ලෙස පාසල්වලින් අධ්‍යාපනයෙන් ප්‍රමාණවත් ඉගෙනුම් ප්‍රතිඵල නොලැබීම බවද මෙම වාර්තාව පෙන්වා දෙයි.
මෙහිදී, අදහස් දක්වමින් ප්රමුඛ ආර්ථික විද්‍යාඥයෙකු සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා මානව සංවර්ධන වැඩසටහන් නායක හර්ෂ අතුරුපාන මහතා, "ඉහළ මධ්‍යම ආදායම් වර්ධනය සහ කලාපීය සාධාරණත්වය යන ද්විත්ව දෘෂ්ටිකෝණයන්ගේ සිට මානව ප්‍රාග්ධන සංවර්ධනයට ශ්‍රී ලංකාව විසඳුම් සෙවිය යුතුයි. වඩාත් දියුණුවට පත්ව ඇති පළාත්වල මානව ප්රාග්ධනයෙහි ශීඝ්‍ර වැඩිදියුණු කිරීම් සිදුකරන අතර, මානව ප්රාග්ධනය අවම ලෙස දියුණු වී ඇති පළාත් කෙරෙහි විශාල සම්පත් ප්‍රමාණයක් සහ ප්‍රතිපත්තිමය අවදානයක් අවශ්‍ය වෙනවා" යැයි පවසා සිටියේය.