මහ බැංකු බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබෙන වෝහාරික විගණනයන් එළඹෙන නොවැම්බර් මාසය වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
අධිපතිවරයා මෙම අදහස් දක්වා සිටියේ මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් අද (11දා) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හවුවේදීය.
"වෝහාරික විගණනයන් 6ක් පැවැත්වෙනවා. මෙයින් 5ක් නොවැම්බර් වනවිට අවසන් කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරනවා. වෝහාරික විගණනයේ අවසන් වාර්තාව මුදල් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු එය නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරනවා. ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි කටයුතු තීරණය කරනවා." අධිපතිවරයා වැඩිදුරටත් කීය.
කෙසේ වෙතත්, වර්ෂ 1997 සිට සිදුවූ බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුවන බැවින්, 2015 ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධ විගණනය පමා වීමට හෝ ඊට බලපෑමක් වූයේ දැයි ප්‍රශ්න කෙරුණත්, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා කියා සිටියේ එවැනි බාධාවක් ඇති නොවන බවයි.
"වෝහාරික විගණනවල ප්‍රතිඵලවලට මින් බාධාවක් වන්නේ නෑ. වෝහාරික විගණන 5න් එකක් තියෙන්නේ ඒ කාලයට අදාළවයි. ඒ විගණනය වුවත් ඉක්මනින් කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ආයතන තෝරාගනීමේ පටිපාටියේදී ඒ ක්‍රියාවලිය අනුගමනය කිරීමට සිදුවුණා. එබැවින් මේ කාර්යය ඉක්මන් කිරීමක් සිදුවන්නේ නෑ. අනෙක් ඒවා සමග මිශ්රවීමක් සිදුවන්නේත් නෑ. එම කාලපරිච්ඡේදයට වෙනම විගණනයක් සිදුකර තිබීම ඊට හේතුවයි. කෙසේ වෙතත්, මේ ප්‍රතිඵල අපට නොවැම්බර් මාසයේදී දැකගන්න පුළුවන් වේවි." නියෝජ්‍ය අධිපතිවරයා වැඩිදුරටත් කීය.