පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් සහ එමගින් බැංකු ක්ෂේත්රයට ඇති කෙරෙන බලපෑම සැලකිල්ලට ගෙන, බැංකු ක්ෂේත්රයේ සවිමත්භාවය පවත්වා ගනිමින් ආර්ථිකය වෙත ණය ප්‍රවාහ සැපයීමට සහ ඵලදායී මූල්‍ය අතරමැදිකරණය සඳහා පහසුකම් සැලසීමට බැංකු අංශයට සහාය වීම සඳහා නියාමන ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
මූලිකවම, බලපත්‍රලාභී බැංකු විසින් අවශ්‍ය කාලයන්හිදී ප්‍රයෝජනයට ගැනීම සඳහා අමතර ප්‍රාග්ධන ස්ථරයක් ලෙස පවත්වාගෙන යන අවදානම මත බර තැබූ වත්කම්වලින් 2.5%ක අගයක ප්‍රාග්ධන සංරක්ෂක ස්වාරක්ෂකය (Capital Conservation Buffer), මෙම පවතින තත්ත්වය හමුවේ භාවිතයට ගැනීමට සියලුම බලපත්‍රලාභී බැංකු වෙත අවසර දී තිබේ. එමෙන්ම, ඉහළ දමනලද ප්‍රාග්ධණ අවශ්‍යතා සැපිරීම සඳහා බලපත්‍රලාභී බැංකු වෙත 2022 දෙසැම්බර් 31දා දක්වා පැවති කාලසීමාව, 2023 දෙසැම්බර් 31දා දක්වා වසරකින් දීර්ඝ කර ඇති අතර, ඒ අනුව මෙම වසර අවසානය වනවිට අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට නොහැකි බැංකු වෙත සුදුසු මූල්‍ය ආයතන හා ඒකාබද්ධ වීමට හෝ ඊට අදාළ සැලසුම් ඇතුළත් සිය ප්‍රාග්ධන වර්ධක සැලසුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබේ.
මීට අමතරව, ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය ගණනය සඳහා වැඩිදියුණු කළ ක්‍රියාපටිපාටියක් යොදාගැනීමට බලපත්‍රලාභී බැංකු දිරිගන්වන අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා සඳහා වෙනත් විස්තීරණ ආදායම් යොදාගැනීමේදීද බලපත්‍රලාභී බැංකු වෙත නම්‍යශීලීත්වයක් ලබාදී තිබේ. එසේම ඔවුන්ගේ ද්‍රවශීලතා මට්ටම සකස්කර ගැනීමට සහාය වීම සඳහා කෙටි කාලීන පියවරක් ලෙස, අවම ද්‍රවශීලතා ආවරණ අනුපාතය සහ ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය 2022 සැප්තැම්බර් 30දා දක්වා 90%ක මට්ටමක පවත්වාගෙන යාමට නම්‍යශීලීත්වයක් ලබාදීම ඇතුළු තවත් ක්‍රියාමාර්ග කිහිපයක්ද හඳුන්වාදී තිබේ.
අවසන් වශයෙන්, බලපත්‍රලාභී බැංකු විසින් මෙකී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින් වර සමාලෝචනය කෙරෙනු ඇති බවත්, බැංකු ක්ෂේත්රයේ ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීමට සහාය වන අතරම, පාරිභෝගිකයන්ගේ සහ සමස්ත ආර්ථිකයේම අභිවෘද්ධිය අරමුණු කරගනිමින් බලපත්‍රලාභී බැංකු විසින් මෙකී සහනයන් යොදාගනු ඇතැයිද මහ බැංකුව අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් සඳහන් කරයි.